2015-03-13

"කංකුං"

මම "කංකුං" මිටියක් ශුද්ධ කරනවා. කහ පාට වෙච්ච... චප්ප වෙච්ච... කොළ අතු කැබලි අයිං කරලා දානවා. කංකුං එක්ක ම කැපිලා ඇවිල්ලා තියන වෙනත් තණ කොළ වර්ග ටිකත්... අයිං කරලා දානවා. පනුවෝ... ඉන්න පුළුවන් හින්දා කොළෙං කොළේ බලනවා. "කංකුං මාළුවක නයි පැටියෙක් කැපිලා හිටියා..." කියලා පත්තරේ තිබිච්ච නිවිස් එක මතක් වෙලා තවත් ටිකක් අවුස්සලා බලනවා. 


සත්තුන්ට ගහපු වසත්... ලොකු වෙන්න ගහපු පොහොරත්... තව ටිකක් හේදිලා යන්න කියලා ආපහු සැරයක් ටැප් එකට අල්ලනවා.
.
.
.
.
මට නිකමට හිතුණ දේ තමයි...
.
.
.
.
.
.
.
.
කඩෙං ගන්න ෆ‍්‍රයිඞ්  රයිස් එකේ තියන කංකුංවලට හරි... කංකුං මාළුවේ තියන කංකුවලට හරි... මෙච්චර වදයක් දෙන්නේ නෑ... නේ... නේද කියලා...?

වලී
2015.03.13

2015-03-05

”ෆුල් ෆේස්” හෙල්මට් - පොලිසියට ලකුණක් දෙකක් ගන්න චාන්ස් එකක්...

මිනිස්සු ”ෆුල් ෆේස්” හෙල්මටයක් දාන්නේ අනතුරක් වුණොත් මුහුණට වෙන්න පුළුවන් හානිය හැකිතාක් අවම කර ගන්න. සාමාන්‍ය හෙල්මටයක් දා ගත්තා ම කවර් වෙන්නේ ඔළුව විතර යි. ඒත් ”ෆුල් ෆේස්” හෙල්මට් එකෙන් මූණත් කවර් වෙනවා. ආරක්ෂා ව අතින් එකෙන් ම ඉහළින් ඉන්නවා.



කොහොම හරි ටීවි එකෙයි රේඩියෝ එකෙයි නිතර ම ”ෆුල් ෆේස්” හෙල්මට් තහනම් කරන්න  ඕනෑය...  ඕනෑය... කියලා පෙත්තප්පු නම් කාලයක් ඉඳල ම බෙරිහන් දෙනවා ඇහෙනවා. අනේ මට නම්  ඕක තහනම් කළත් පානුත් නෑ, පරිප්පුත් නෑ. මොකද මේ උත්තමයා පාරක යන්නේ හරිම විනයකින්. ඒක හින්දා මට නම් ඔය  ”ෆුල් ෆේස්” හෙල්මට් අවශ්‍ය නැහැ. 

කොහොම හරි මම නම් කියන්නේ මේකයි...  ඕක තහනම් කරන්න ඉස්සෙල්ලා අඩු ම ගානේ මේ වගේ පොඩි පරීක්ෂණයක්වත් කරන්න  ඕන... 
යන්න ඉන්ටනෙට් එකට. 
ගහලා බලන්න මේ ගැන ලෝකේ කොහේ හරි කරපු පරියේෂණ එහෙම තියනවා ද කියලා. 
බලන්න මේක තහනම් කළොත් සහ නොකළොත් ඇති වන වාසි -අවාසි මොනවා ද කියලා.. 

''එක්කෝ ඔය පිටරටවල පර සුද්දෝ කරපුවා  ඕන නෑ'' කියලා හිතනවා නම්...  
අපි ම අපේ රටේ ක‍්‍රමයට පරියේෂණයක් කරලා බලනවා කියලා හිතෙනවා නම්... ගන්න පහු වෙච්ච අවුරුදු පහක විතර ඩේටා. 
බලන්න'' ෆුල් ෆේස්'' හෙල්මට් දාගෙන ඇවිල්ලා හොරකං, මංකොල්ලකෑම්, අපචාර කීයක් වෙලා ද කියලා. 
ඒවා සංඛ්‍යාත්මක ව ගනනය කරන්න.  

ඒත් එක්ක ම බලන්න ඒ කාලය තුළ දී ම වෙලා තියන මෝටර් සයිකල් අනතුරු ගාණත්. ෆුල් ෆේස් හෙල්මට් දාගෙන හිටපු අවස්ථාත් නැති අවස්ථාත් එහි දී වෙච්ච හානියත් ගනනය කරන්න. 

හරි සරල යි. ''ෆුල් ෆේස්'' හෙල්මට් දාගෙන ගිහිල්ලා කරලා තියන නීති විරෝධි වැඩවල බලපෑම වැඩියි නම් පැහැදිලි ව ම  ඕක තහනම් කරන එක අවුලක් නැහැ. 
හැබැයි ''ෆුල් ෆේස්'' හෙල්මට් නොදා යාමෙන් වන අනතුරු, එහෙම නැතිනම් ජීවිත හානි වැඩි වෙලා තියනවා නම්  ඕක තහනම් කරන්න එපා.
මොකද මේ විනාස වෙන්නේ තරුණ ජීවිතනේ. මොක ද බැංකුවේ තියන සල්ලි ටික හොරෙක් ඇවිත් ගන්නවා වගේ නෙමෙනේ තරුණ කොල්ලොන්ගේ ජීවිත විනාශ වෙලා යන එක...

මං ඔය කරන්ඩ කිව්ව පරියේෂණේ මහා කොටි ගානක් යන එකක් නෙමේ. 
මහා කාලයක් යන එකකුත් නෙමේ.  
ඕන නම් ඔය ඩීටෙයිල් ටිකත් අරං පොලිස් කොස්තාපල් කෙනෙක් එවන්ඩ මා ගාවට. මීට අවුරුදු 06කට විතර කලින් ගත්ත අලූත් ම අලූත් ලැප්ටොප් එකෙන් මං  ඕක කරලා දෙන්නම්.  ඕකට ලොකු සොෆ්ට්වෙයා යන්නෙත් නැහැ. එක්සෙල්වලින් කරතැහැකි. 

සිම්පල් ප්ලෑන් එකක්නේ. අනික පොලීසියට නැති වෙලා තියන ලකුණක් දෙකක් දාගන්ඩත් නියම චාන්ස් එකක්. ඒ ව‍ගේ ම අපිට පුළුවන් ලෝකයාට බය කියන්න මෙන්න අපේ පොලිසියත් දැන් තීන්දු තීරණ ගන්නේ විද්‍යාත්මක පදනමක් මත කියලා... 


2015.03.05

2014-08-22

ලංකාවේ පොලීසිය

ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.
කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතරපොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්
කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා
පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහුතමන්ගේ
ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්
පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්
කොටසකි.

ගරු පොලිස්පති තුමනි,

මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වන
පුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවට
ගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒ
අනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නා
ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.

1. මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්
ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.

2. මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගා
අංසලට මා ගෙනයාමෙන් වලකින්න.

3. මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝග
කරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදු
අදහසක් නොමැති බව ද දන්වා සිටිමි.

4. මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්
නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එම
රථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.

5. තවදපොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහා
ආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්
නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.

6. මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මා
රෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.

ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒ
සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.

ස්තුතියි,
මෙයට ඔබේ විශ්වාසී,
...........................
(උපුටා ගැනීමකි)

2014-07-10

මහින්ද මහත්තයා ගියොත් ෆයිනල් මැච් පරදිනවා ද?

මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.

මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්.. 
මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.

අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.

2014-07-05

ඒක තමයි මහත්තයා අපේ ෂතුට

අපි කඩේට කෑම කන්න යනවා. රූ 12ත් පසුවී තබීම නිසා කඩෙත් කෑම ඔක්කොම වගේ ඉවර වෙලා. 

''මහත්තයා ෆ‍්‍රයිඞ්රයිස් විතරයි තියෙන්නේ'' කියලා එතන හිටපු හිසේ රවුම් තොප්පියක් (ටාකියාද මොකද්ද එක ) දාගත්ත වේටර් කියනවා. 

''හා කමක් නැහැ එහෙනම් දෙකක් දාන්නකෝ...'' කියලා මම කිව්වා. 

ගෑස් එකෙන් පන පොවන, විශාල තාච්චියට තෙල් දාලා බිත්තර දෙකක් විතර කඩලා දාලා හීනියට කපා ගත් කැරට්, ලීසුත්දානවා. කලින් උයා ගත් බතුයි තවත් මොන මොනවද දාලා සද්දෙට හැදිගාලා පිගන් දෙකක දාලා මෙසේ උඩින් ගෙනත් තියනවා.

''ඹහත්තයා.. තව මොනවද ඕන තව චිකන් හොදි ටිකකුත් ගෙන්න ද? '' වේටර් අහනවා.

''නැහැ එපා මේ ඇති.. ''

''කූල් වතුර හොදයි ද නැත්නම් ඇල් වතුර දෙන්න ද'' නැවත්ත ඔහු අහනවා.

''කූල් වතුර දෙන්නකෝ අපි කියනවා. ''

''තව ෂෝටීසුත් ගෙන්නකො..''. කෑම කාලා අවසාන වෙලා මගේ යාළුවා වේටර්ට කියනවා.

''ඇයි මහත්තයාට කෑම මදි වුණා ද? අපරාදේ කිව්ව නම් තව ටිකක් දාලා දෙනවානේ... ගොඩක් අය ඉතිරි කරන නිසා අපි සාමාන්‍ය ගානකට තමය ිදාලා දෙන්නේ. හැබැයි කන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඇති තරම් දෙනවා. ඒක තමයි මහත්තයා අපේ ෂතුට කියලා'' ඒ වේටර් කියනවා.

********************
පහුවදා දවල්ට අපි කෑමට යන්නේ ඒ කිට්ටුව තියන වෙනත් කඬේකට. ඒ කඬේ වේටර් නම් අර රවුමට තියන තොප්පිය දාලා නැහැ. දවල්ට කන්න ගියේ ටිකක් පරක්කු වෙලා. ඒ කියන්නේ හවස 2.30ට විතර.

''ඇයි අයියේ''

''කෑම තියනවා ද''

''අයියෝ මේ වෙලාවේ කොහෙද කෑම'' කියලා කඩේ කෙනා නොන්ඩි හිනාවකුත් දානවා. ‍

''ෂෝටීස් විතරයි.. ''

''හා හොදයි මල්ලි'' කියලා අපිත් එන්න එනවා.

2014-06-03

ඩෙංගි රෝගයෙන් ආරක්ෂා විමට මේ ගැනත් සිතන්න... බලධාරින්ගෙත්... මහජනයාගෙත්... අවධානය පිණිසයි...

       ඩෙංගි මර්ධනය සම්බන්ධයෙන් අපි හැමෝගේ ම අවධානය යොමු වන්නේ ඩෙංගි මදුරුවන් ඇතිවන තැන් විනාශ කිරිමත්, මදුරුවන් දෂ්ඨ කිරිමෙන් ආරක්ෂා විමත් කෙරෙහි පමණි. අවාසනාවකට පොදු මහත් ජනයා ඩෙංගි රෝගය හැදුණු රෝගීන්ගෙන් ආරක්ෂා වීම කෙරෙහි දැනුවත් නැත. ඩෙංගි මර්දන බලධාරින් ද ඒ ගැන අවධානයක් යොමු කර නැති බවට හොඳම සාක්ෂිය වන්නේ ඩෙංගි මර්දනය කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වී තිබීම යි.


    
      ඩෙංගි මදුරුවන් (ඩෙංගි වාහක මදුරුවන්) අපට දෂ්ඨ කළ පමණින් ඩෙංගි වැළඳෙන්නේ නැත. ඩෙංගි වැළදිමට නම් ඩෙංගි මදුරුවා ඊට පෙර ඩෙංගි රෝගියකුගේ දෂ්ඨ කර තිබිය යුතු ම ය. එනම් ඩෙංගි තවත් අයකුට වැළදෙන්නේ ඩෙංගි රෝගියකුගේ ශරිරගතව ඇති ඩෙංගි වෛරස කොටස් ඩෙංගි මදුරුවා හරහා පැමිණීමෙන් පමණි. එහෙත් මේ ගැන නිසිපරිදි දැනුවත් ව නැති බහුතර ජනයා හිතන්නේ ඩෙංගි මදුරුවන් දෂ්ඨ කළ පමණින් ම ඩෙංගි රෝගය ඇති වන බව ය.  නැත. ඩෙංගි රෝගය වැළදිමට නම් මදුරුවා ඊට පෙර අනිවාර්යයෙන් ම වෙනත් ඩෙංගි රෝගියෙකුගේ දෂ්ඨ කර තිබිය යුතුය.

     එම නිසා ඩෙංගි රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළකුවහොත් රෝගය ව්‍යාප්ත වීම අවම කළ හැකිය. මහජනයා මේ ගැන දැනුවත් නැති නිසාම ඔවුන් ඩෙංගි රෝගීන් ව මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා කරන්නට පෙලඹෙන්නේ නැත. අවාසනාවට බලධාරීන්ගේ නිසි අවධානය මේ කෙරෙහි යොමු වී නැත. බලධාරීන්ගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමත්, එසේ ම කැලි කසළ ඇති බව කියමින් දඩ ගසමින් මිනිසුන්  පීඩාවට පත් කිරීමත් පමණි. පරිසරය පිරිසිදුව තබා ගැනීම හොඳ දෙයකි; එහෙත් එමගින් ඩෙංගි වැළැක්විය හැකි බව පූර්ණ විශ්වාසය තබාගෙන සිටීම නම් විහිළු සහගත තත්ත්වයකි. 

      දැන් නැවත වැසි සමය ආරම්භ වී ඇති හෙයින් ඩෙංගි රෝගය ඉතාමත් ඉක්මණින් ව්‍යාප්ත විය හැකිය. ඉන් ආරක්ෂා වීම උදෙසා පහත කරුණු දෙක බලධාරීන්ට යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම්

01- ඩෙංගි රෝගීන් සිටින නිවාස සොයා බලා එම රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විම සහ ඒ ආශ‍්‍රීත මදුරුවන් ඇති තැන් පූර්ණ වශයෙන් විනාශ කිරිම.
02- රෝහල්වල සිටින ඩෙංගි රෝගින්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විමට කටයුතු කිරීම (රෝගීන් සිටින වාට්ටු අවට මදුරුවන් සම්පුර්ණ වශයෙන් විනාශ කිරීම හෝ රෝගීන්ට මදුරු දැල් දමා මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා විමට කටයුතු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි දේවල් වේ).

පොදු මහත් ජනයාට මෙසේ යෝජනා කරමි. ඔබගේ නිවසේ හෝ අවට නිවාසයක ඩෙංගි රෝගියෙක් සිටී නම්, ඔහුට/ඇයට මදුරුවන් දෂ්ඨ කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන්න. එසේ ම රෝහලක හෝ පොදු ස්ථානයක සිටින විට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් හැකි පමණ වැළකෙන්නට උත්සාහ කරන්න. 

වලී

2014-01-09

සත්තයි ගසේ ඉදුණු අඹ

”සත්තයි ගසේ ඉදුණු අඹ” කියලා පාර අයිනේ බොඞ් එකක් දමාගෙන පිරිසක් අඹ විකුණනවා. ටිකක් අමතු තාලේ දැන්වීමක් හින්දා මමත් එකේ පින්තූරයක් ගන්න අමතක කළේ නැහැ. මේ පහළින් තියෙන්නේ ඒ පින්තූරය.

තවත් දවසක තවත් කට්ටියක් ”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් එකක් පාර අයිනේ තියාගෙන අඹ විකුණනවා. මෙයාලාගේ වෙළෙඳ උප්පරවැට්ටි දැන දැන උනත් මම අඹ ගෙඩි කිහිපයක් මිල දී ගත්තේ අඹ ගෙඩියක් කන්න තිබිච්ච ආසාවටත් එක්කම යි. 

”මහත්තයා මේවා ගහේ ම ඉදිලා කඩපු අඹ” කියලා ඒ මුදලාලි ඔහු ළඟ ම තියාගෙන සිටිය අඹ ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපලා මට කන්න දුන්නා. ගසෙන් කඩන ලද නැවුම් අඹ ගෙඩියක තරමට නොමැති වුණත් යම් රසයකුත් එහි තිබුණා. 
                 ***

”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් ගහගෙන අඹ විකුණුවට මම හිතා සිටි විධියට ම ඒ අඹත් මෙලෝ රහක් නැති, කෘත‍්‍රීම ලෙස ඉදවන ලද අඹ බව වැටහුණේ ගෙදර ඇවිත් කපලා කන්න හදනකොට යි. ඇත්තට ම මේ අඹ කන්න ම බැහැ. කිසිම රහක් නැහැ. සමහර ගෙඩි ඇතුළේ පැත්තක් අමුයි. ඒ මදිවවට ඇඹුල්. කොටින් ම අඹ ගෙඩියෙන් පොත්තවත් ගළවා ඉවත් කරන්න බැහැ.  
                   ***

මේ පහළ පින්තූරයේ තියෙන්නේ ගහේ ම ඉදුණු විලාට් වර්ගයේ අඹ ගෙඩියක්. මේ ගෙඩියේ තිබුණු රහ වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ම පුදුම රහක් තියෙන්නේ. 

අඹ වාරෙට ව්‍යාපාරිකයන් කරන්නේ අඹ තියන පළාත්වලට ගිහිල්ලා ගස් පිටින් අඹ මිල දී ගන්නවා. සාමාන්‍යයෙන් රු.1000ට, 1500, 2000ට වගේ තමයි මෙයාලා ගහේ මිල තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහේ තියන ලොකු පොඩි බේදයක් නැති ව සියලූ අඹ කඩා ගන්නවා. හොදින් පැසුණු, අඹ වගේ ම නොපැසුණු, ගැට පවා කඩා ගන්නවා. ඊට පස්සේ කාබයිට්, මැජික් (වස කඩවලින් මිල දී ගත යුතු හෝමෝනයකි) වැනි කෘත‍්‍රීම දේ යොදා මේ අඹ ඉදවනවා. දවසක් දෙකක් යනවිට ලොකු පොඩි සියලූ අඹ එක ම විධියට ලස්සනට රන්වන් පාටට ඉදෙනවා. හොඳට පැහී තිබෙන ගෙඩියක් දෙකක් ඇරෙන්නට අනිත් ගෙඩි කිසිම රහක් නැත්තේ ඒකයි. 

පාර දිගට බොඞ් දාගෙන අඹ විකුණන අය කරන්නේ හොදින් පැසුණු අඹ ගෙඩියක් තියාගෙන කෑලි කපා කපා කන්න දීලා ශේප් එකේ අනිත් අඹ ගෙඩි ටික විකුණ ගන්න එකයි. මිහින්තලේ අඹ, ඇඹිලිපිටියේ අඹ, මොනරාගල අඹ කිය කියා ඔය විකුණන කව්රුත් කරන්නේ මේ ටික ම තමයි. ඒ අතරේ මට එක් අයෙක් හමුවුණා ඔවුන් කරන්නේ ඇත්තටම ගහ බදු අරගෙන පැසෙන පැසෙන අඹ විතරක් කඩා ගන්නවා. එක අඹ ගහකින් එවිට අඹ කඩා ගන්න පස් හය පාරක් විතර පැමිණෙනවා. එහෙම අවංක ව බිස්නස් එකක් කරන අයගෙන් ඇත්තට ම ටිකක් වැඩි ගාණක් ගෙවලා අපිට කිසි ම පාඩුවක් වෙන්නේ නැහැ. 

මරදාන ප‍්‍රදේශයේ මගේ මිත‍්‍රයෙක් කියූ දෙයක් මා මවිත කරන්නට සමත් වුණා. ඔහු කිසිම දිනෙක අඹ ගහකින් ඉදුණු අඹ ගෙඩියක් කඩාගෙන කාලා නෑලූ. ඔහුට මම දවසක් ගහේ ඉදී කඩාගත් අඹ ගෙඩි කිහිපයක් දුන්නට පස්සේ ඔහු පුදුම වුණා අඹ මෙච්චර රස ද කියලා. ගමේ හැදුණ වැඩුණ අපිට නම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ. කොහොම ද හොඳින් ඉදුණු කර්තකොළොම්බන් අඹ ගෙඩියක් එහෙම ගහේ ඉදගෙන කනකොට දැනෙන සනීපේ... අම්මෝ මතක් වෙනකොට කටට කෙළත් වුණනවා... 

හොඳ අඹ වෙළෙඳ පොළේ දී හඳුනා ගත හැකි ක‍්‍රම තියනවා. හොඳින් පැසුණු අඹ ඉදෙන්නේ ගෙඩියේ නැට්ට පැත්තේ සිට පහළට ය. නොපැසුණු අඹවල ඇටය පිහියෙන් කපන්න පුළුවන් වුවත් හොඳින් පැසුණු අඹ එසේ පහසුවෙන් කැපිය නොහැකි ය. තව ද අඹ පොත්තේ මතුපිට රැළි වැටුණු ස්වභාවයක් පවතී නම් ඒවා හොද අඹ නොවේ. ඉතින් වෙළෙඳ පොළෙන් අඹ මිල දී ගන්නා විට මේ තොරතුරු ඔබට සමහර විට වැදගත් වේවි. ඔක්කොටමත් වඩා අඹ පැලයක් ඔබේ නිවසේ හිටවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා.


08.01.2014

2013-12-07

කනත්තේ හොල්මන් තියනවා? රෑ 12ට හොල්මන් පේනවා ද?

පහත ලිපිය පළ වෙලා තිබුණේ “රිවිර“ පුවත්පතේ.




මෙතනින් ලිපිය කියවන්න


හොල්මන්, අවතාර, නැවත ඉපදීම වැනි දේ ගැන බෙද්ධ සාහිත්‍යෙයේ තියනවා. එහෙත් බුද්ධ දේශනාවල තියනවා ද කියන එක නම් ගැටලුවක්...
 
මේ ලිපියේ දක්වන ආකාරයට මේ ළමයා බුදුදහමත් සමග, පන්සලත් සමග හැදීවැඩෙන කෙනෙක්... ඒ නිසා ඔහුටත් සමාජයේ පවතින, බෙවුද්ධ සංස්කෘතියේ එන හොල්මන්, අවතාර වැනිදේ ගැන පූර්ව විශ්වාසයක් ඇති අයකු බව විශ්වාස කළ හැකි යි.

කනත්ත ආශ්‍රිත ව හොල්මන් තියනවා, රෑ 12ට හොල්මන් තියනවා ය කියන පූර්ව විශ්වාසයක් අපේ සමාජයේ තියන බව අප තේරැම් ගත යුතුයි.



පිරිත් නූලක් බැන්දහම හිතේ තිබුණ බිය, චකිතය නැති වූ බව කියනවා. ඔව් වෙන්න පුළුවන්... මානසික සුවපත් බාවය ඇති කළ හැකි ආකාර බොහොමයක් තියනවා.

කොහොමත් මෙහි අදහස් දක්වා ඇති හාමුදුරැවෝ දෙදෙනාගේ උත්තර නම් බාලාංශ උත්තර බව ය මගේ හැගීම...

මුලින් ම මේ පින්තූරවල සත්‍යතාව තහවුරැ කළ යුතු යි.

ඉන් පසු සාමාන්‍යෙයන් රාත්‍රි කාලයේ දී ඇතිවන අකුණු ගැසීම්, වාහනවල එළි, ජලවාෂ්ප දිලිසීම්, ආලෝකපරාවර්තනයන් වැනි දේ ඇති බව අවබෝධ කර ගත යුතුයි..

එවිට වැටහෙයි ඇත්ත කුමක් ද? කියන දේ..


වලී

2013-11-27

ITN එකේ බම්බු ''වෙනස''

බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්... 



ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...


අදාළ වීඩියෝ ව මෙතැනින් 


වලී 

2013-11-25

මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...

ගොඩක් අය කැමතියිනේ හොල්මන් කතා අහන්න, මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්... 
...
...
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්. 

මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...

මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...

ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...

මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...

ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...

පාන්දර 2-3ට විතර වෙන්න ඇති...

කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...

මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...

නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...

මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...

තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...

එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...

වලී.