2014-01-09

සත්තයි ගසේ ඉදුණු අඹ

”සත්තයි ගසේ ඉදුණු අඹ” කියලා පාර අයිනේ බොඞ් එකක් දමාගෙන පිරිසක් අඹ විකුණනවා. ටිකක් අමතු තාලේ දැන්වීමක් හින්දා මමත් එකේ පින්තූරයක් ගන්න අමතක කළේ නැහැ. මේ පහළින් තියෙන්නේ ඒ පින්තූරය.

තවත් දවසක තවත් කට්ටියක් ”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් එකක් පාර අයිනේ තියාගෙන අඹ විකුණනවා. මෙයාලාගේ වෙළෙඳ උප්පරවැට්ටි දැන දැන උනත් මම අඹ ගෙඩි කිහිපයක් මිල දී ගත්තේ අඹ ගෙඩියක් කන්න තිබිච්ච ආසාවටත් එක්කම යි. 

”මහත්තයා මේවා ගහේ ම ඉදිලා කඩපු අඹ” කියලා ඒ මුදලාලි ඔහු ළඟ ම තියාගෙන සිටිය අඹ ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපලා මට කන්න දුන්නා. ගසෙන් කඩන ලද නැවුම් අඹ ගෙඩියක තරමට නොමැති වුණත් යම් රසයකුත් එහි තිබුණා. 
                 ***

”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් ගහගෙන අඹ විකුණුවට මම හිතා සිටි විධියට ම ඒ අඹත් මෙලෝ රහක් නැති, කෘත‍්‍රීම ලෙස ඉදවන ලද අඹ බව වැටහුණේ ගෙදර ඇවිත් කපලා කන්න හදනකොට යි. ඇත්තට ම මේ අඹ කන්න ම බැහැ. කිසිම රහක් නැහැ. සමහර ගෙඩි ඇතුළේ පැත්තක් අමුයි. ඒ මදිවවට ඇඹුල්. කොටින් ම අඹ ගෙඩියෙන් පොත්තවත් ගළවා ඉවත් කරන්න බැහැ.  
                   ***

මේ පහළ පින්තූරයේ තියෙන්නේ ගහේ ම ඉදුණු විලාට් වර්ගයේ අඹ ගෙඩියක්. මේ ගෙඩියේ තිබුණු රහ වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ම පුදුම රහක් තියෙන්නේ. 

අඹ වාරෙට ව්‍යාපාරිකයන් කරන්නේ අඹ තියන පළාත්වලට ගිහිල්ලා ගස් පිටින් අඹ මිල දී ගන්නවා. සාමාන්‍යයෙන් රු.1000ට, 1500, 2000ට වගේ තමයි මෙයාලා ගහේ මිල තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහේ තියන ලොකු පොඩි බේදයක් නැති ව සියලූ අඹ කඩා ගන්නවා. හොදින් පැසුණු, අඹ වගේ ම නොපැසුණු, ගැට පවා කඩා ගන්නවා. ඊට පස්සේ කාබයිට්, මැජික් (වස කඩවලින් මිල දී ගත යුතු හෝමෝනයකි) වැනි කෘත‍්‍රීම දේ යොදා මේ අඹ ඉදවනවා. දවසක් දෙකක් යනවිට ලොකු පොඩි සියලූ අඹ එක ම විධියට ලස්සනට රන්වන් පාටට ඉදෙනවා. හොඳට පැහී තිබෙන ගෙඩියක් දෙකක් ඇරෙන්නට අනිත් ගෙඩි කිසිම රහක් නැත්තේ ඒකයි. 

පාර දිගට බොඞ් දාගෙන අඹ විකුණන අය කරන්නේ හොදින් පැසුණු අඹ ගෙඩියක් තියාගෙන කෑලි කපා කපා කන්න දීලා ශේප් එකේ අනිත් අඹ ගෙඩි ටික විකුණ ගන්න එකයි. මිහින්තලේ අඹ, ඇඹිලිපිටියේ අඹ, මොනරාගල අඹ කිය කියා ඔය විකුණන කව්රුත් කරන්නේ මේ ටික ම තමයි. ඒ අතරේ මට එක් අයෙක් හමුවුණා ඔවුන් කරන්නේ ඇත්තටම ගහ බදු අරගෙන පැසෙන පැසෙන අඹ විතරක් කඩා ගන්නවා. එක අඹ ගහකින් එවිට අඹ කඩා ගන්න පස් හය පාරක් විතර පැමිණෙනවා. එහෙම අවංක ව බිස්නස් එකක් කරන අයගෙන් ඇත්තට ම ටිකක් වැඩි ගාණක් ගෙවලා අපිට කිසි ම පාඩුවක් වෙන්නේ නැහැ. 

මරදාන ප‍්‍රදේශයේ මගේ මිත‍්‍රයෙක් කියූ දෙයක් මා මවිත කරන්නට සමත් වුණා. ඔහු කිසිම දිනෙක අඹ ගහකින් ඉදුණු අඹ ගෙඩියක් කඩාගෙන කාලා නෑලූ. ඔහුට මම දවසක් ගහේ ඉදී කඩාගත් අඹ ගෙඩි කිහිපයක් දුන්නට පස්සේ ඔහු පුදුම වුණා අඹ මෙච්චර රස ද කියලා. ගමේ හැදුණ වැඩුණ අපිට නම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ. කොහොම ද හොඳින් ඉදුණු කර්තකොළොම්බන් අඹ ගෙඩියක් එහෙම ගහේ ඉදගෙන කනකොට දැනෙන සනීපේ... අම්මෝ මතක් වෙනකොට කටට කෙළත් වුණනවා... 

හොඳ අඹ වෙළෙඳ පොළේ දී හඳුනා ගත හැකි ක‍්‍රම තියනවා. හොඳින් පැසුණු අඹ ඉදෙන්නේ ගෙඩියේ නැට්ට පැත්තේ සිට පහළට ය. නොපැසුණු අඹවල ඇටය පිහියෙන් කපන්න පුළුවන් වුවත් හොඳින් පැසුණු අඹ එසේ පහසුවෙන් කැපිය නොහැකි ය. තව ද අඹ පොත්තේ මතුපිට රැළි වැටුණු ස්වභාවයක් පවතී නම් ඒවා හොද අඹ නොවේ. ඉතින් වෙළෙඳ පොළෙන් අඹ මිල දී ගන්නා විට මේ තොරතුරු ඔබට සමහර විට වැදගත් වේවි. ඔක්කොටමත් වඩා අඹ පැලයක් ඔබේ නිවසේ හිටවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා.


08.01.2014