2015-08-28

ඔබත් අනිත් අයට උදව් කරන්නේ හදවතින් ම ද?

අන් අයකුගේ තිබෙන අඩුපාඩුවක් නිවැරදි කර ගැනීමට උපදෙස් දීම දියුණු මානව ලක්ෂණයකි. එය ඉතා සුමට ව කළ යුත්තකි. ඒ මන්ද යත් තමා තුළ තියන අඩුපාඩු පිලිගන්නට අප බොහෝ විට මැලි වන බැවිනි.

අප එය කළ යුත්තේ ඉතා හොඳ අරමුණකිනි. එනම් අදාළ අය නිවැරදි වෙනවා දැකීමට ඇති හදවත තුළින් එන නොනිත් ආසාවෙනි, නැතහොත් කැමැත්තෙනි. තමන් ලබන්නා වූ සතුට අන් අය ද ලබනවා දැකීමට දක්වන්නා වූ හද රැදි ප්‍රීතියෙනි. 

අප අන් අයගේ වැරදි/ අඩුපාඩු බොහෝ විට දුටුවා වුවත් අප තුළ ඇති වැරදි අඩු පාඩු යම් ප‍්‍රමාණයක් නොපෙනේ. එහෙත් එම අඩුපාඩු ද නිවැරදි වූවා නම් ජීවිතය වඩ වඩාත් යහපත් වනු ඇත. ඒ අර්ථයෙන් වෙනත් අයගේ ජීවිතයේ සාර්ථකත්වය දැකීම අපගේ ජීවිතයේ සාර්ථක බව නැත හොත් අපගේ හොඳ ගති ගුණ ප‍්‍රකට කරවන්නකි. 

අන් අයකු තමා තුළ පවතින අඩුපාඩු මග හරවා ගෙන ජීවිතයේ සාර්ථකත්වයක් අත් කර ගන්නවා දැකීමට හොඳ මිනිසා නිතර කැමැත්ත දක්වයි. එබැවින් ඔහු අන් අයගේ වැරද්දක් දකින විට එම වැරද්ද නිවැරදි කර ගැනීමට උපදෙස් දෙයි. ඒ බොහොම කැමත්තෙනි. හදවතින් ම ඔහු නිවැරදි වෙනවා දැකීමේ අපේක්ෂාවෙනි. එබැවින් ඔහුගේ උපදෙස් දීම අනෙකාගේ හිත සතුටු වන ආකාරයෙන් වෙයි. වැරද්ද තේරුම් යන ආකාරයෙන් වෙයි. 

එසේ හදවතින් ම අනෙකා නිවැරදි වනවා දැකීමට කැමැත්තෙන් ඔහුට උපදෙස් දෙන කෙනා ඔහු ව අපහසුවට පත් වන ආකාරයෙන් උපදෙස් නොදෙයි. ඔහුගේ හදවත තේරුම් ගෙන මනස තේරුම් ගෙන එය නිවැරදි ව තේරුම් යන ආකාරයට උපදෙස් දෙයි. ලෝකය ලස්සන වන්නේ ද එලෙස අන් අය කෙරෙහි දක්වන කාරැණික බව, අනෙකා වෙනුවෙන් කරන පරිත්‍යාගශීලි බව ද මත ය.