2013-07-22

ඥානසාර හාමුදුරැවෝ කුඩුපුරයට බහින්න හදයි ...

අපේ ඥානසාර හාමුදුරැවෝ ‍කොලොන්නාව කුඩු පුරය වනසන්නලු සැරසෙන්නේ... ඉතාම හොද වැඩක් අපේ හාමුදුරැවනේ... හැබැයි ඕක ඉතින් අර රෝග මූලය එහෙම්ම තියෙද්දි රෝග ලක්ෂණවලට සහනයක් ‍දෙන්න ප්‍රතිකාර කරනවා වගේ වැඩක් කියල යි කියන්න තියෙන්නේ... 

අපේ හාමුදුරැවනේ මට විශ්වාසයි ඔබ වහන්සේලා කවදාවත් ඔය කුඩු බිස්නස් එකේ මහ මුදුන් මුල් ටික උදුරලා දාන්න යන්නේ නෑ... ඕන නම් වටේ තියන කොල ටික හූරලා දාලා යම් සතුටක් ලබන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඔබ වහන්සේලාට කරන්න බැහැ. 

එහෙම උත්සහයක් හරි දරන්න නම් ඔබ වහන්සේලාට රජවාසලේ එක එක ඇත්තන්ගෙන්? ලැබෙන රැකවරණය නොපතන්න වෙනවා...

ඒ රැකවරණය නැති දාට ඔබ වහන්සේලාට පැවැත්මකුත් නෑනේ... :) 

2013-07-20

ඒ කසාදෙත් අහවරයි...................

අයියට කෙල්ලෙක් හොයනවා... ඔන්න ඉතින් දන්න අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන් නංගියෙක් සෙට් වුණා...

හමුවෙන්න දවසක් දාගෙන ඔන්න අයියයි, යාළුවෙකුයි ගිහින් තිබුණා නිදහස් තැනකට... ඒ නංගියි, එයාගේ යාළුවෙකුයි තමා ඇවිත් තිබුණේ... 

ඒ නංගි එක්තරා රජයේ ආයතනයක ජොබ් එකක් කරනවාලූ. ඔන්න ඉතින් ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙයාගේ කටින් කියවුණාලූ එයාගේ පුංචි ඇමෙරිකාවේ ඉන්නේ කියලා. 
අයියත් ටිකක් නාඩියට ඉන්න එක්කෙනානේ... කොයි පුංචි ද අනං මනං විස්තර අහනකොට මෙයාගේ පුංචියෙකුත් නෙමෙලූ. මෙයා වැඩි හරියක් ඉන්නේ යාළුවගෙ ගෙදරලූ... ඉතින් ඇමෙරිකාවේ ගිහින් තියෙන්නේ යාළුවගේ පුංචිලූ... 

හරි එකත් එහෙම වුණා කියමුකො...
ආපහු ඉතින් ටෝක් එක දාගෙන ඉන්නකොට ‘ඒක මම ඉන්ඩියා ගියපු දවසක වෙලා තියෙන්නේ ’ වගේ දෙයක් කෙල්ලගේ කටින් එලියට දැම්මලූ...
අයියා ඉතින් ඔය ගැනත් අහලා මොකක්ද ඒ ඉන්දියාවේ ගියපු කතාව කියලා. අනේ අම්මපා බලනකොට මෙයාගේ යාළුවගේ අම්මා රෙදි බිස්නස්ලූ කරන්නේ. ඉතින් දවසක් එයත් එක්ක ඉන්දියාවේ ගියාලූ රෙදි වගයක් ගෙන්න...

ඒකත් එහෙම වුණා කියමුකෝ...
ඔන්න දැන් කතා බහ අවසන් වෙලා යන්න එහෙම ලැහැස්ති වෙනකොට ඉතින් මේ නංගි බෑග් එක එහෙම ලෑස්ති කරන ගමන් හෙමින් සීරුවේ සන්ග්ලාස් දෙකක් එහෙම පොඞ්ඩල් ලාවට පේන්න වගේ එළියට අරගෙන ආපහු ෂේප් එකේ බෑග් එකට ඔබා ගත්තලූ...   



හැතැප්මක් විතර උඩ ලෝකයේ ඉන්න කැමති, මේ වගේ චූටි නංගිලා එක්ක මහපොලොවේ ඉන්නේ කොහොමද කියලා අයියට හිතෙන්න ඇති... ඒකනේ ඕක කිය කියා අපිත් එක්ක බඩ පැලෙන්න හිනාවුණේ... ඔන්න ඒ කසාදෙත් අහවරයි...................  

වලී

2013-07-08

මේ අමාරැව ඔයාටත් හැදිලා තියනවද බලන්ඩකෝ...

මට පොඩි පණිවිඩයක් තියනවා මේ හැමෝටම කියන්ඩ... මේක වටිනා පණිවිඩයක්. විශේෂයෙන් ලැජ්ජා බය වැඩිපුර තියන ගැහැනු ළමයින්ට. ඒ වගේ ම ලැජ්ජා බය තියන පිරිමි ළමයින්ටත්... ඔහෝ... මට වැරදුණා. ඒක වැරදිලා ලියවුණේ. ඒ කොටස අයින් කරලා ඉතිරි ටික කියවන්න. හරියේ...

මම මේ විස්තරේ කිව්වා කියලා මා ගැන ඔය ගැහැනු ළමයි එහෙම වැරදි විධිහට හිතන්න එපා. මොකද මේක මහ කුණුහරපයක් එහෙම නෙමේ. මෙව්වා ලොකු පොඩි අපි කොයි කවුරුත් දැන ගන්න  ඕන දේවල්.

විශේෂයෙන් මේ ගැන කියන කොට කොල්ලන්ට කියන්ඩ  ඕන දෙයක් තියනවා. ඒ තමයි මම මේ කියන්න යන දේ අනිත් අයත් කරනව ද කියලා චෙක් කරන්න නම් යන්න එපා. මොකද ඊට පස්සේ මට ඔය ගැහැනු උදවියගෙන් දොස් පරොස් අහන්න බැහැ. තම තමන් ගැන බලා ගත්තහම ඇති ආ...

මොකද මම මේ කියන්න යන්නේ එක්තරා පද්ධතියක් ගැන. මේ පද්ධතිය ගැන අපේ තියෙන්නේ නම් ටිකක් දුරස්ථ ගතියක්. ඒත් ඔය ඇමරිකාව වගේ රටවල නම් මේ පද්ධතිය සාමාන්‍ය දෙයක් කියලා ඔය  ඕනෑ තරම් බුකිවල ලියවෙනවා මම දැකලා තියෙනවානේ. 


මම මේ කියන්ඩ යන දේ ගැන දොස්තර මහත්තුරු එහෙම නම් දන්නවා ඇතිනේ... අපෝ එයාලට නම් මෙව්වා සුළු දේවල් වෙන්ඩැ... ඔය එක එක රෝග හැදුනම එයාල නම් ඔය පද්ධති අල්ලනවත් එක්ක කියන්නේ... හපෝ....

කොහොම හරි කමක් නෑ මම දැන් කියන්න ආපු දේ කියලා දාන්නම්කො.

දැන් අපේ කට්ටිය දැකලා ඇතිනේ ඔය පාරවල් දිගේ යනකොට අපේ කොල්ලෝ එහෙම පෝලිමට හිටගෙන ඉන්නවා... ඒ වගේ ම දැන් ඔය එක එක උත්සව වලදී, භාවනා වැඩසහටන්වල දී එහෙම පොඩි විවේකයක් එහෙම ලැබුණහ ම අපේ ගැහැනු පාර්ශව ඉක්මන්ට දුවලා යනවනේ... නේ.. අර අර පෝලිමේ ඉස්සරහටම යන්න..  


ආයේ කියන්න දෙයක් නෑනේ තේරෙනවානේ නේද මම කියන්න යන දේ? මේ වරහනවත් ඇරලා බලන්ඩකෝ එහෙනම් මම මේ කියන්ඩ යන්නේ මොකක්ද කියලා. (මුත‍්‍රා කිරීම) . හප්පේ කාටවත් කියන්ඩ එපා පොඩි උන්ට එහෙම ඇහුණොත් හොද නෑනේ. වරහන වහලා දාන්ඩ.. හරියේ...

දැන් ඔය වැඬේ ඉතින් කොල්ලන්ට නම් මහ ගේමක් නෙමේ. වට පිට බැලූවා කව්රුවත් නැත්නම් එතනම හරි බැරියැ.. එහෙත් අපේ ගැහුනු පාර්ශ්වයට එහෙම බෑනේ අප්පා. වෙලාවකට පව් හිතෙනවා. එයාලට ඉතින් ආවරණයක් තියෙන්ඩ එපෑයැ.

හප්පේ මට මේක කියද්දින් තමා මතක් වුණේ. මේ ළගදි ගොල්පේස් ගියපු වෙලාවක මට මාර වැඩක් වුණේ. හදිසියේ ම සෙට් වුණා ඔය වරහන් ඇතුලේ ලියපු දේ. හප්පේ යන්ඩ තැනක් හෙව්වා, හෙව්වා. නෑ... වෙලාවත් රාත්‍රි 8ට විතර. මම පොඩි නිරීක්ෂණයක් කරලා බැලූවා වෙරළ හරියට ගිහින්  ඕක කළොත් එතන උඩින් යන කට්ටියට පේනවාද කියලා. නෑ... ඉතින් හරි නෑනේ එහෙම නේද? මම ඉතින් හරි ඞීසන් පිට ඉන්ඩ කැමති මනුස්සයානේ. 


ඉතින් මම බැස්සා දැන් ඔය එතන තියන මහ කොන්ක‍්‍රීට් එක උඩින් වෙරළට. බැහැලා කොන්ක‍්‍රීට් එක මුල්ලට ආවා. දෙයියනේ මට දැන් පෙන්නේම අනිත් අයට පෙනෙයි කියලා. බැලූවා බැලූවා හරියන්නේම නෑ. මගේ පරීක්ෂණයේ ඬේටා ඇනලයිස් කරනකොට මොකක් හරි අවුලක් වුණාද දන්නෙත් නෑ කියලා මට හිතුණා.

හප්පේ ඉන්ඩම බැරි තැන තමයි නියම අදහස් ආවේ. ගත්ත ජංගම දුරකථනේ. ගත්තා බොරු කොල් එකක්. බලා ගත්තා මුහුද පැත්ත. ශේප් එකේ කොල් ඒකක් ගන්නවා වගේ හිටගෙන ඈත් මෑත් කරලා  තිබ්බ අමාරුවෙන් නිදහස් වුණා. කොල්ලෙක් හින්දා මම එහෙම බේරුණා. දෙයියනේ අපේ ගැහැනු පාර්ශවයේ අයට ඔහොම දෙයක් උනොත් මොකද කරන්නේ ආ...

හරි හරි එකේන් මෙකෙන් මගේ පණිවි‍ෙඩ් අමතක වුණානේ. මම කියන්ඩ හැදුවේ ඔය වරහන් ඇතුලේ ලියාපු කාරණාව තියනවානේ. ඉතින්  ඕක අමාරුව වැඩි වෙනකම් අපි ඔහේ ඉවසං ඉන්නවානේ. එහෙම ඉන්ඩ හොද නෑලූ. මොකද වැඩිපුර ඇගේ හිර කරගෙන ඉන්නකොට පිලිකා ඇතිවීමේ ලොකු අවදානමක් තියනවාලූ. ඉතින් අමාරුව දැනිච්ච ගමන් ටක් ටක් ගාලා ගිහින් වැඬේ කරලා එනවනම් හොදයි කියලා තමයි ඉතින් කියන්ඩ තියෙන්නේ. 


මේ හොට් හොට් නිව්ස් ආ... මමත්  ඕක දැන ගත්තේ ඊයේ පෙරේදා ඔය මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයාගේ දේශනයකින්නේ. ඉතින් මගෙන් වැඩි විස්තර අහන්ඩ එපා. නෙට් එකේ එහෙම හොයලා බලලා දැන ගත්තහැකිනේ. 

එහෙනං ඉතින් මම ගියා. පස්සේ හම්බ වෙන්ඩ බැරියෑ... මේ ගැන හැමෝම දැනගන්න එකත් වැදගත්නේ. ඉතින් ඔය මොකවත් කේස් නැති වෙන විධිහට මේක අනිත් අය අතරත් බෙදා හදා ගත්තට මගේ අහිතක් නෑ...


එහෙනම් මම ගියා ආ...

ටටා බායි...

වලී

ඔබත් නෙළුම් අල කනවා ද?


මම මේ කියන්න යන්නේ නෙළුම් අල කන්න කැමති අය දැන ගත යුතු වැදගත් කරුණක් ගැන යි . මේක මම දැන ගත්තේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ දේශනයක දි යි.

කවුරුත් දන්නවානේ රජරට ඇතුළු ගොඩක් ප‍්‍රදේශවල පැතීරී යන නිදන්ගත වකුගඩු රෝගය ගැන, මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයා ගොඩාක් පර්යේෂණ කරන කෙනෙක් කියලා.

එතුමා අනුරාධපුර පැත්තේ පර්යේෂණ කරනකොට මෙන්න මේ නෙළුම් අල ගැන අවධානය යොමු වුණාලූ. මෙතුමා නෙළුම් අල ගැන පර්යේෂණ කරලා බලනකොට දැක්කලූ නෙළුම් අලවලට ඉතාමත් ම අධික ලෙස හැකියාවක් තියනවා කියලා ශරීරයට ඉතා විෂ සහිත බැර ලෝහ වර්ග ආකර්ශනය කර ගන්න. (මට මතකේ විධිහට මේක ඒ දවස්වල වඩාත් කතාබහට පවා ලක් වුණා)

බැර ලෝහ සහ වකුගඩු අබාධ අතර සමීප සම්බන්ධයක් තියන නිසා මහාචාර්යතුමාට යම් සැකයක් ඇති වුණාලූ නෙළුම් අල කන එකත් මේ වකුගඩු රෝගයට හේතුවක් ද කියලා බලන්න.
ඉතින් සරත් මහත්තයා මේ ගැන පර්යේෂණ කරල බලනකොට හොයා ගෙන තියනවා නෙළුම් අල මගින් කොච්චර විෂ බැර ලෝහ ආකර්ශනය කර ගත්තත්, නෙළුම් අල ආහාරයට ගැනීමෙන් අපට කිසිදු ගැටලූවක් ඇති නොවන බව. 



ඒකට හේතු විධිහට මහාචාර්යතුමා කියන්නේ නෙළුම් අලවල තියනවාලූ මෙටලෝ තයනින්? (මේ නම් හරියටම මට මතක නැහැ) කියලා ප්‍රෝටීන් එකක්. ඒ මගින් මේ බැර ලෝහ ටික එක්කාසු කර ගන්නවලූ. ඊට පස්සේ අපි මේවා ආහාරට ගන්න කොට ශරීයයට අවශෝෂණය කර නොගෙන අසූචි සමග එළියට යනවලූ.

ඒ නිසා නෙළුම් අල කෑමෙන් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැලූ. මෙවැනි තන්තු අධික ආහාර සියල්ල ම මේ තත්ත්වයට යටත් කියල යි මහාචාර්යතුමා කිව්වේ.
ඒ නිසා දැන් ඔය නෙළුම් අල කන්න බය වෙලා හිටපු අය බය නැතිව කන්න. නොදන්නා අයවත් දැනුවත් කරන්න.

වලී

2013-07-05

මොබිටෙල් රෙද්ද (Mobitel Redda)

 ටි‍්‍රං... ටි‍්‍රං... ටි‍්‍රං...

මගේ ජංගම දුරකථනය නාද වෙන්නට විය.

”මචං පොඞ්ඩක් බලපං කවුද කියලා?” මම කරමින් සිටි වැඩේ නැවැත් වීමට නොහැකි වූ බැවින් අරවින්දට කීවෙමි.

දුරකථනය දෙස සුළු මොහොතක් වෙලා බලා සිටි අරවින්ද මහ හයියෙන්  හිනහ වෙන්නට විය.

”ඇයි කවුද?”

මම වඩාත් කුතුහලයෙන් ඔහුගෙන් ඇසිමි.

”මොබිටෙල් රෙද්දෙන්” ඔහු සිනහව නවත්වා ගත ගන්න උත්සහ දරමින් කීය.

මට ද සිනහව නවතා ගත නොහැකි විය.

”ඔව් මචං...  ඕක නම් මහ මල වදයක් වෙලා තියෙන්නේ. නිතර ම ඔය නම්බර් එකෙන් කොල්ස් එනවා.”

”මේ මොකක් ද බං මේ කොල් එක, මට තේරෙන්නේ නෑ?” අරවින්දට තව දුරටත් සිනහව නවතා ගත නොහැකි තැන මගෙන් ඇසීය.

”ඔය මචං අර මොබිටෙල් ‘එම් ටියුන් සේවාව’ ඇක්ටිව් කර ගන්න කියලා මොබිටෙල් එකෙන් ම එන කොල් එකක්නේ. හරිම වාතයක් වෙලා තියෙන්නේ. ඔය නම්බර් එකෙන් නිතර ම වගේ කෝල්ස් එනවා.

ඉතිං ඒ නම්බර් එක සේව් කර ගත්තා මොබිටෙල් රෙද්ද  (Mobitel Redda) කියලා.

වලී.