ඩෙංගි මදුරුවන් (ඩෙංගි වාහක මදුරුවන්) අපට දෂ්ඨ කළ පමණින් ඩෙංගි වැළඳෙන්නේ නැත. ඩෙංගි වැළදිමට නම් ඩෙංගි මදුරුවා ඊට පෙර ඩෙංගි රෝගියකුගේ දෂ්ඨ කර තිබිය යුතු ම ය. එනම් ඩෙංගි තවත් අයකුට වැළදෙන්නේ ඩෙංගි රෝගියකුගේ ශරිරගතව ඇති ඩෙංගි වෛරස කොටස් ඩෙංගි මදුරුවා හරහා පැමිණීමෙන් පමණි. එහෙත් මේ ගැන නිසිපරිදි දැනුවත් ව නැති බහුතර ජනයා හිතන්නේ ඩෙංගි මදුරුවන් දෂ්ඨ කළ පමණින් ම ඩෙංගි රෝගය ඇති වන බව ය. නැත. ඩෙංගි රෝගය වැළදිමට නම් මදුරුවා ඊට පෙර අනිවාර්යයෙන් ම වෙනත් ඩෙංගි රෝගියෙකුගේ දෂ්ඨ කර තිබිය යුතුය.
එම නිසා ඩෙංගි රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළකුවහොත් රෝගය ව්‍යාප්ත වීම අවම කළ හැකිය. මහජනයා මේ ගැන දැනුවත් නැති නිසාම ඔවුන් ඩෙංගි රෝගීන් ව මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා කරන්නට පෙලඹෙන්නේ නැත. අවාසනාවට බලධාරීන්ගේ නිසි අවධානය මේ කෙරෙහි යොමු වී නැත. බලධාරීන්ගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමත්, එසේ ම කැලි කසළ ඇති බව කියමින් දඩ ගසමින් මිනිසුන් පීඩාවට පත් කිරීමත් පමණි. පරිසරය පිරිසිදුව තබා ගැනීම හොඳ දෙයකි; එහෙත් එමගින් ඩෙංගි වැළැක්විය හැකි බව පූර්ණ විශ්වාසය තබාගෙන සිටීම නම් විහිළු සහගත තත්ත්වයකි.
දැන් නැවත වැසි සමය ආරම්භ වී ඇති හෙයින් ඩෙංගි රෝගය ඉතාමත් ඉක්මණින් ව්‍යාප්ත විය හැකිය. ඉන් ආරක්ෂා වීම උදෙසා පහත කරුණු දෙක බලධාරීන්ට යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම්
01- ඩෙංගි රෝගීන් සිටින නිවාස සොයා බලා එම රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විම සහ ඒ ආශ‍්‍රීත මදුරුවන් ඇති තැන් පූර්ණ වශයෙන් විනාශ කිරිම.
02- රෝහල්වල සිටින ඩෙංගි රෝගින්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විමට කටයුතු කිරීම (රෝගීන් සිටින වාට්ටු අවට මදුරුවන් සම්පුර්ණ වශයෙන් විනාශ කිරීම හෝ රෝගීන්ට මදුරු දැල් දමා මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා විමට කටයුතු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි දේවල් වේ).
පොදු මහත් ජනයාට මෙසේ යෝජනා කරමි. ඔබගේ නිවසේ හෝ අවට නිවාසයක ඩෙංගි රෝගියෙක් සිටී නම්, ඔහුට/ඇයට මදුරුවන් දෂ්ඨ කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන්න. එසේ ම රෝහලක හෝ පොදු ස්ථානයක සිටින විට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් හැකි පමණ වැළකෙන්නට උත්සාහ කරන්න.
වලී
No comments:
Post a Comment