2012-04-02

ශ‍්‍රී පාදය කරුණා කළෙමු


         
අප රත්නපුරයට ළඟා වන විට දහවල් 1 පමණ වන්නට ඇත. අප කිහිප දෙනකු මෙම ගමනට එක් වූ අතර, උදෑසන ආහාරය ද නිසි පරිදි ලබා ගත නොහැකි වූ නිසා මුළින් ම හෝටලයකට ගොස් කෑම කා යන්නට අප තීරණය කළෙමු. කෑම කා අහවර වූ පසු ඉතා ඉක්මණින් බස්නැවතුම්පලේ ශ‍්‍රීපාදය ආසන්නයට දිවෙන ‘සිරිපාගම’ බස් රථය සොයා ගියෙමු. හවස 2ට රත්නපුරයෙන් බසය සිරිපාගම දක්වා ගමන් ආරම්භ කළ අතර එහි ගාස්තුව රු. 60ක පමණ ගණනක් විය. පැය එකහමාරක පමණ ගමණකින් පසුව බස් රථය සිරිපාද කඳු මුදුන ආරම්භ වන සිරිපාගම දක්වා පැමිණීමට හැකිවිය.
           සිරිපාගමට පැමිණි අප මුළින් ම සිදු කළේ ඒ අසළ තිබෙන ගඟට ගොස් නා ගැනීම ය. එම  ප‍්‍රදේශයට කාලෙකින් වැසි වැටී නොතිබූ නිසා ගෙඟ් වතුර ඉතාම අඩු මට්ටමක පැවතිණි. ගල්වැටිවලින් පිරී තිබූ ගෙඟ් ගල්වැටි අතර තිබූ කුඩා වතුර වලකින් නෑමට අපට සිදු වූ අතර, එහි සිටි මාළුන්ගෙන් කකුල් බේරා ගැනීමට අපට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදු විය.

           නෑමෙන් පසු අප ඒ අසළ පැවති කඩවලට ගොස් ගමන් කිරීමේ දී ආහාරයට ගැනීමට අවශ්‍ය බිස්කට්, වඬේ, බීම ආදිය මිල දී ගත්තේ කඳු මුඳුනට වන්නට අහාර මිල ඉතා අධික යැයි කල්තියා දැන සිටි බැවිණි. කඳු පාමුල ඇඳුම්, ආහාර, සෙල්ලම් බඩු වැනි කඩ රාශියක් තිබූ අතර ඒවා සීසන් එකට පමණක් දමන කඩ බව ඒ කඩයක සිටි මුදලාලි කෙනෙක් අප සමග පැවසී ය.
           හවස 4.30ට පමණ ශ‍්‍රීපාදයට නැගීම ආරම්භ කළ අතර, මීටර් 100, 200, 300 බැගින් අප ටිකෙන් ටික පඩි පෙළ තරණය කරන්නට වුවෙමු. දැඩි අව්රශ්මිය මුහුණු සිසිරා ගිය නිසා ඉන් බේරීමට අප සෙවණ ඇති තැන්වල නැවතෙමින් ගමන් කළෙමු. එදින උදෑසන කාලයේ ශ‍්‍රී පාද මළුවෙන් පිටත් ව රත්නපුර මාර්ගය ඔස්සේ බිමට බැසීමට ආ අය ඒකා දෙන්නා පහළට බසිමින් සිටිනවා අපට මුණ ගැසුණි. ඊට පෙර දින සෙනසුරාදා දිනයක් වූ නිසා දෙතුන් සීයක පමණ විශාල පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාදයට පැමිණි බව මාර්ගය අයිනේ තේ කඩයක් පවත්වාගෙන ගිය අයකු අප සමග පැවසී ය. සාමාන්‍ය සතියේ දිනවල 50-100කට අධික පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රී පාදය කරුණා කරන බවත් නිවාඩු දිනවල එම පිරිස වැඩි වන බවත් ඔහු අප සමග කීය.
පහළට බසිමින් සිටි අය ගැහැනු පිරිමි භෙදයක් නොමැතිව සියලූ දෙනාම ඉතා අපහසුවෙන්, කෙඳිරිගාමින්,  නොන්ඩි ගසමින්, පැමිණෙන ආකාරය අපට දිස් විය. සමහරුන් හැරමිටියක් ආකාරයට ලීයක් ගෙන අපහසුවෙන් පඩි පෙළ බසිමින් සිටි අතර තවත් අය පැමිණියේ වෙනත් අයගේ කරේ එල්ලෙමින් ඔවුන්ගේ ආධාරයෙනි. තරුණ හැඩි දැඩි පිරිමි පවා පැමිණියේ දැඩි අපහසුවකින් බව අපට දැක ගැනීමට ලැබිණි. ඒ අතරේ මත්පැන් බී ඇති බවට සැක කළ හැකි, කෑකෝ ගසමින් බෙර ගසමින් පැමිණි පිරිසක් ද අපට හමුවිණි.
           ටිකෙන් ටික ගමන දුෂ්කර බැව් අපට ද පෙනී ගිය අතර මාර්ගයේ නැවතෙමින්, අසළ කඩවලට ගොස් තේ එකක්, බෙලිමල් එකක් බොමින් ගමන් කළෙමු. රාත‍්‍රී 7-8 පමණ වන විට අපට කිලෝ මීටර් 5ක පමණ දුරක් ඉතාම දැඩි අපහසුතා මධ්‍යයයේ පැමිණීමට හැකි වූ අතර තවත් ඇත්තේ අවාට වඩා අඩු දුරක් බව සිතීමෙන් අප තෘප්තිමත් වූ අතර, දුර ප‍්‍රමාණය පඩි පෙළ දිගේ මීටර් 100න් 100ට ලකුණු කර තිබූ බැවින් අපට දුර ප‍්‍රමාණය නිවැරදි ව නිෂ්චිත කර ගත හැකි විය. නමුත් අපගේ ඒ තෘප්තිමත් භාවය දුහුවිල්ලක් බවට පත් කරන සිද්ධියක් වූයේ අසළ කඩයක මුදලාලි කෙනෙක් අප සමග කී දෙය නිසා ය. එනම් අප ඇත්තටම මෙතෙක් පැමිණ ඇත්තේ කිලෝමීටර් 3ට මදක් වැඩි ප‍්‍රමාණයක් බවත්, තවත් කිලෝමීටර් 6ට වැඩි ප‍්‍රමාණයක් ගමන් කළ යුතු බවත් පඩි පෙළ දිගේ සටහන් කර ඇත්තේ මීටර් ගණන නොව පඩි ගණන බවත්, මීටර් ප‍්‍රමාණය සඳහන් කර ඇත්තේ පඩි පෙළ දිගේ ඇති ලයිට් කණුවල බවත් තව දුරටත් ඔහු අප සමග පැවසීය.


            රාත‍්‍රී 9 පමණ වන විට මාර්ගයේ වෙනත් කිසිවකු අපට හමු නොවූ අතර, අපට ඉදිරියෙන් නඩ කිහිපයක් ගමන් කළ බව කඩවල සිටින අයගෙන් දැන ගන්නට ලැබිණි. අතරින් පතර හමුදා කෑම්ප් පිහිටුවා තිබූ අතර ඔවුන් මේ දිනවල මාර්ගයේ පඩි පේළි සකසමින් සිටින බව දැනගත හැකිවිය.
           එක් අවස්ථාවක අප කිසිසේත් ම නොසිතූ දෙයක් සිද්ධ වූණි. අප ගමන් කළ පඩි පෙළෙහි විෂඝෝර සර්පයෙකි. ඒ අසළ ලයිට් කණුවක් තිබූ බැවින් කල්තියාම ඌව හොඳින් දර්ශණය වූ නිසා සිද්ධ වීමට ගිය විශාල අනතුරකින් බේරීමට අපට හැකි විය. ඌ දඟර ගසමින් පඩි පෙළින් ඈත් වීමට උත්සාහ කළ අතර, මහත් පරිශ‍්‍රමයකින් පසුව, අපේ ගමන් මාර්ගයෙන් පිටතට යාමට ඌ සමත් විය.

            මධ්‍යම රාත‍්‍රිය ළං වන විට අප දැඩි ලෙස හෙම්බත් ව සිටි අතර, ගමනේ දුෂ්කර භාවය අපට දැඩිව දැනෙමින් තිබිණි. දණහිස ආශ‍්‍රිත ව දැඩි ලෙස රිදුම් දුන් අතර තවත් අඩියක් හෝ ඉහළට නැගීමට නොහැකි ව අප පඩිය මත ම හිඳ ගත් අවස්ථා මෙපමණ යැයි සඳහන් කළ නොහැක. කෙසේ හෝ ගමන යා යුතු නිසා නැගී සිට අප නැවත ගමන් කළ අතර පඩිපෙළ දෙපස අත්වැල් ඇති තැන්වල එයට අතින් බර දී ගමන් කිරීමෙන් යම් තරමක ඉස්පාසුවක් ලැබිණි.
           ශ‍්‍රීපාද කඳු මුදුණට සැතපුම් එකහමාරකට පමණ ළං වන විට අප මෙතෙක් පැමිණි මාර්ගය වගේ ම තවත් මාර්ගයක් හමු වුණ අතර, එය කුරුවිට සිට ශ‍්‍රීපාද කන්ද දක්වා දිවෙන මාර්ගය බව දැන ගැනීමට ලැබිණි. මෙම මංසන්ධිය තරමක තැනිතලා බිමක් වන අතර විශාල විශ‍්‍රාම ශාලාවක් සහ එහි නිදා ගැනීමේ පහසුකම් බැතිමතුන්ට සළසා ඇත.
මෙතැන් පටන් ශ‍්‍රී පාද කඳු මුඳුන දක්වා ඇත්තේ ඉතා අපහසු මාර්ගයක් බව පෙනී ගියේ ඝෘජු ව අහස දෙසට මාර්ගය වැටී තිබු බැවිණි. පහළ සිට ඉහළ බලන විට ලයිට් කණුවලින් පාර ආලෝකමත් වී තිබූ නිසා මාර්ගය කඳු මුදුන දක්වා වැටී ඇති ආකාරය දුර සිටම දර්ශණය කර ගත හැකිවිය. මෙම කොටස ඉතා ම අපහසුවෙන් අප ගමන් කළ අතර කඳු මුදුණට ළං වන්නට ළං වන්නට පඩි පෙළ තරණය කිරීම ඉතා ම අපහසු වූයේ පඩි ඝෘජු ව ඉහළට පිහිටා තිබූ බැවින් සහ පැවති දැඩි ගමන් මහන්සිය නිසා ය. අවසානයේ දැඩි පරිශ‍්‍රමයකින් අනතුරුව පාන්දර 1.20 පමණ වන විට අප ශ‍්‍රීපාද මළුවට පැමිණීමට හැකි වූ අතර, තවත් එක් අඩියක් හෝ ඉහළට නැගීමට තිබුණා නම් එය කළ නොහැකි බව අප වටහාගෙන සිටියෙමු.
           ශ‍්‍රීපාද මළුවෙහි ඉතා විශාල පිරිසක් රැඳී සිටි අතර දැඩි ශීතලෙන් බේරිමට ඔවූහු ජර්සි ඇඳගෙන අත්මේස් පැළඳ ගෙන සිටියහ. ගමන් මහන්සිය හා දහඩිය නිසා එකවරම අපට ශීතල නොදැනුණු නමුත්, ටික වේලාවක් යන විට දැනෙන්ට වූ දැඩි ශීතල හා කකුල් රිඳුම් දීම නිසා අප දැඩි අපහසුවට පත් වූ අතර, ශීතලෙන් බේරීම සඳහා උඩ මළුවේ ඇති විශ‍්‍රාම ශාලා දෙකේ ඉඩක් සොයා ගැනීමට වෙහෙසුණි. එහෙත් එය ද අපහසු වූයේ එවා අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගොස් තිබූ බැවිණි.
           ඉහළ මළුවේ සිදු කරන ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව අප ටික වෙලාවක් ඉහළ රැඳී සිටීමෙන් පසු පාන්දර 4.20ට පමණ නැවත පහළට බැසීම ආරම්භ කළෙමු. කළින් යොදාගත් පරිදි පහළට අප බැසීමට අප යොදා ගත්තේ හැටන් දෙසට ඇති මාර්ගය යි. අලූයම් කාලය බැවින් දැඩි ශීතල මැද්දේ ම අප ඝෘජු ව ම පහළට ඇති මාර්ගය ඔස්සේ පහළට බසින්නට වූයෙමු. අප ශ‍්‍රීපාදය තරණය කළ රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් දෙසට දිවෙන මෙම මාර්ගයෙන් විශාල පිරිසක් ගමන් කරන බවක් දක්නට ලැබිණි. ඉහළට වන්නට ඇති අපහසු ප‍්‍රදේශයේ අධික ලෙස බැතිමතුන්ගෙන් පිරී ඇති බැවින් දැඩි ලෙස වංගු තිබූ තැන්වල අපට ඉදිරියට යාමට සිදු වූයේ සෙමින් සෙමින් පෝළිමේ සිටිමිනි. විදේශිකයන් ද ඉතා විශාල වශයෙන් ශ‍්‍රී පාදය කරුණා කරන ආකාරය දක්නට ලැබිණි. වයස් භේදයක් නොමැති ව සෑම අයෙක් ම කන්ද තරණය කිරීමේ දී දැඩි ලෙස අපහසුතාවයට පත් වී ඇත. ඇතැම් කණ්ඩායම් තව දුරටත් ඉහළට යා ගත නොහැකි ව පඩි පේළි මත වාඩි වී සිටි ආකාරය අප පහළට එන විට දක්නට ලැබිණි.
           කෙසේ වෙතත් රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් මාර්ගයේ ගමන් කිරීම අපහසු නොවන බව අපට වැටහී ගිය අතර, එළිය වැටෙන්නට ආසන්න වන විට අපට ශීත ගඟුල ප‍්‍රදේශය වෙත එන්නට හැකි විණි. මේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත මාර්ගය මෙතනින් අවසන් වන අතර, මින් පසුව ඇත්තේ සාමාන්‍ය බෑවුමක් සහිත පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයකි. එබැවින් ඉතා පහසුවෙන් පහළට ගමන් කළ අප හට පැය තුන හමාරක් පමණ ඇතුළත බිමට බැසීමට හැකි විණි.
            තේවතු මැදින් වැටී තිබූ මේ මාර්ගය ඉතා ආකර්ශණීය මාර්ගයකි. ඉතා විශාල පිරිසක් ගමන් කරන බැවින් මාර්ගය දෙපස කඩවල් විශාල ප‍්‍රමාණයක් ඇත. පහළ ප‍්‍රදේශයේ සිටින දොදොල් වෙළෙන්දන්ගෙන් නම් බැතිමතුන්ට එල්ල වන්නේ දැඩි අපහසුවකි. කෙසේ හෝ තම නිෂ්පාදන විකුණා ගැනීමට ඔවුන් මාර්ගයේ ගමන් ගන්නා අයව තමන්ගේ කඩවලට ගෙන්වා ගැනීමට තරඟයට මෙන් පොර කති.
           මෙම ගමනේ දී අප දුටු අවාසනාවන්ත සිද්ධිය විය. එනම් එක් අවස්ථාවක කන්දේ මැද හරියට වන්නට මාර්ගය අයිනේ පාත්තරයක් දෙඅතට ගත්, බොහොම සංසුන් ලීලාවෙන්, භාවනා යෝගීව වැඩ වසන මෙන් පෙණෙන භික්ෂූ නමකි. අපට දිස් වූයේ උන් වහන්සේ ශ‍්‍රී පාදය කරුණා කිරීමට යන බැතිමතුන් විසින් බොහොම ශ‍්‍රද්ධාවෙන් ලබාදෙන දාන වේලක් ලබා ගන්නවා වෙනුවට පාත්තරයට මුදල් ලබා ගැනීමේ ක‍්‍රියාවකි. මාර්ගයේ ගමන් ගන්නා වූ සෑම දෙනාම පාහේ එම භික්ෂූවගේ පාත්තරයට කීයක් හෝ දමා යනවා දක්නට ලැබිණි. එහිදී ගමන් කළ විදේශිකයෙක් වෙතට ම ගොස් මුදල් ලබා ගන්නා ආකාරය අපට දක්නට ලැබීමට තරම් අපි අවාසනාවන්ත වූයෙමු.
           තවත් අවස්ථාවක මාර්ගය අයිනේ රැවුල වවාගත්, සිවුර දරා සිටි භාවනා යෝගියෙක් වැනි භික්ෂුවකි. කුඩා කුටියක් තනාගෙන පිරිත් නූල් බැඳීමේ කාර්යයයේ නිරත ව සිටියේ ය. අප සමග ගමන් කළ අයෙක් ද පිරිත් නූලක් බැඳ ගැනීමට එහි ගිය අතර, පිරිත් නූල බැඳීමෙන් පසු ඔහු අපසු හැරී එන්නට පිටත් වූ විට එම පුද්ගලයා ”මහත්තයා ආධාරයක් කරලා යන්න” යැයි හඩ නගා පැවසීය. ඒ අසළ ම ලොකු පෙට්ටයක් වැනි යමක් තබා තිබුනේ මුදල් එකු කිරීමේ පරමාර්ථයෙනි. මෙවැනි ක‍්‍රියා කරන්නන් වහා ම එම ස්ථානවලින් ඉවත් කිරීම බැතිමතුන්ට සිදු කරන සහනයක් වනු ඇත.
           අපට මෙහි දී අත්විඳින්නට ලැබූ අත්දැකීම් කිහිපයක් මේ ආකාරයෙන් සඳහන් කිරීම, ශ‍්‍රීපාදයට යාමට අදහස් කර සිටින අයට වැදගත් වේ යැයි සිතමි. එසේ ම ශ‍්‍රීපාදය කරුණා කරන විට ඉහළට වන්නට ආහාර ඇතුළු සියලූ දේ ම මිල ගණන් ඉතා ඉහළ වන අතර, අවශ්‍ය ආහාර වර්ග හැකි තරම් පහළින් රැගෙන යාම ඉතාමත් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේ ම කුඩා දරුවන් රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගන්නා අය අපට දැකීමට හැකි වූ අතර, එසේ රැගෙන යන්නේ නම් දෙවරක් සිතා බැලිය යුතු බව මතක් කරමි.

 (ශ‍්‍රී පාදයේ සිදු කළ සංචාරයකින් පසු)

2012-02-22

CCTV සාක්ෂියෙන් පොලීසියෙන් දඩ කන්නට සිදු වුයෙමි


             වෙලාව දහවල් 12 පමණ වන්නට ඇත. මම මෝටර් සයිකලයේ නැගී නුගේගොඩ සිට කිරුලපන දෙසට දිවෙන මාර්ගයේ බේස්ලයින් පාරට හරවන මංසන්ධිය වෙත පැමිණියෙමි. දැඩි වාහන තදබදයක් එවෙලෙහි තිබූ අතර, මා වාහන අතරින් වාහන පසුකොට ගෙන ඇවිත් සියල්ලට ම ඉදිරියේ බේස්ලයින් පාරට හරවන්නට දකුණට සිග්නල් ලයිට් වැටෙන තෙක් සයිකලය නවතා ගෙන සිටියෙමි. සුළු මොහොතකින් ගමන් කිරීමට සිග්නල් ලයිට් වැටුණු තැන මම ක්ෂණිකව සයිකලය පණ ගන්වා ඉදිරියට ඇදුනෙමි.

             මංසන්ධිය පසු කොට මා හට යාමට හැකි වූයේ සුළු දුරකි. ට‍්‍රැෆික් පොලිස් නිලධාරීන් තිදෙනෙක් පාර අයිනේ සිටි අතර, එක් අයෙක් පාර මැදට පැමිණ අත දැම්මේ ය. වාහන බලපත‍්‍රය, රියදුරු බලපත‍්‍ර ආදිය තිබූ නිසා මම ද කිසිඳු චකිතයකින් තොරව මෝටර් සයිකලය මාර්ගයේ වම් අයිනට වන්නට නැවැත්වුයෙමි. ඒ අතරේ මට පසු පසින් ආ කාර් රථයක් ද ඔවුන් විසින් නවතාලන ලදී. 
             ට‍්‍රැෆික් පොලිස් නිලධාරියෙක් මා අසළට පැමිණි අතර, ඔහු ඉල්ලන්නටත් පෙර ම අදාළ ලියකියවිලි මම ඔහුට ඉදිරිපත් කළෙමි. එවා පරික්ෂා කිරීමෙන් අනතුරු ව ඔවුන් පවසා සිටියේ මම සහ අනිත් කාර් රථය මංසන්ධියේ සුදු ඉර පසු කොට නවතා තිබූ බව ය. මා එහිදී ඔවුන්ගෙන් විමසා සිටියේ මීටර් 150-200ක් පමණ දුරකින් සිටි ඔවුන්ට මංසන්ධියේ ඇති සුදු ඉර පෙනෙන්නේ කෙසේද යන්න යි(එම ස්ථානයට අදාළ සුදු ඉර පෙනෙන්නේ නැත). ඔවුන් දන්වා සිටියේ එම ස්ථානයේ සවි කර ඇති CCTV කැමරා පද්ධතිය මගින් ගත් සජීවී ඡායාරූප  ඔස්සේ, පාලක මැදිරිය විසින්  තමන්ට ඒ බව දැන් වූ බව යි. එවෙලෙහි මා වෙත රු.500ක දඩ කොලයක් ලබා දුණි. 
             මෙම සිද්ධිය මා හට දුකට පත් වීමට කාරණාවක් වූව ද මා එයින් සතුටක් ලැබීය. එනම් දියුණු රටවල මාර්ග නීති කඩන රියදුරන්ගේ දඩ කොල තම නිවසට ම ලබා දෙන තාක්ෂණයේ දියුණුව ගැන අසා තිබූ අප, ඉතා සුළුවෙන් වූවත් අප රටෙහි ද තාක්ෂණික දැනුම ද මෙවැනි අවස්ථාවල භාවිතයට ගෙන තිබූ දක්නට ලැබූ නිසා ය. 
             කෙසේ වෙතත් අදාළ දඩ මුදල දින 14ක් ඇතුළත තැපැල් කාර්යාලයකට ගෙවා රිසිට් පත රැුගෙන නැවත කිරුලපන පොලීසියට පැමිණ මාගේ ලයිෂන් එක ලබා ගත යුතු විය. වැරදි සෙවීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර තිබූ නමුත්, දඩ ගෙවීමේ ක‍්‍රියාවලිය තවමත් ඇත්තේ පැරණි ක‍්‍රමයට ම බව මෙහි දී පෙනෙන්නට තිබේ. 
             උදාහරණයක් විධිහට ගතහොත් කොළඹ ප‍්‍රදේශයේ වාහනයක් යාපනයේ විනෝද චාරිකාවක ගිය අවස්ථාවක යම් මාර්ග නීති කඩ කිරීමක් සිදු කළ හොත් සතියේ වැඩ කරන දිනයක, වැඩ කරන කාලයෙන් බැහැර අවස්ථාවක නම් අදාළ රියදුරාට ඔහුගේ ලයිෂන් එක ලබා ගැනීමට නැවත දිනයක යාපනය බලා යාමට සිදු වනු ඇත. එය ඔහුගේ කාලය ද ශ‍්‍රමය ද දැඩි ලෙස කා දැමීමකි. මහා අපරාධයකි. එසේ නොවී අභ්‍යන්තර කි‍්‍රියාවලියක් මගින් එම රියදුරු බලපත‍්‍රය කොළඹ ආශ‍්‍රිත පොලීසියකට ගෙන්වා අදාළ දඩ මුදල් ගෙවා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකසා තිබුණා නම් එම කාර්යය ඉතා පහසු වනු ඇත?
             එසේ ම අදාළ දඩ මුදල පොලිසිය තුළ දී ම ගෙවීමේ ක‍්‍රවේදයක් තිබූණා නම් නිරපරාදේ කාලය කා දැමීමක් හෝ සිදු නොවන්නේ ය. මේ ආකාරයට විනාශ වෙන්නේ රටේ දියුණුවට ලබා ගත හැකි ශ‍්‍රමය නොවෙද?. මේ පිළිබඳ ව අදාළ බලධාරීන්ගේ නුවන පෑදේවා යන්න මාගේ ප‍්‍රාර්ථනයයි. 

      

2010-11-10

පෙම්වතුන් නැති සොවින් පෙලෙන කුරුණෑගල රජපිහිල්ල උද්‍යානය



මා පසුගිය සතියේ කුරුණෑගලට ගියේ මාගේ මවට රෝහලෙන් ප‍්‍රතිකාර අරගෙන දීම සඳහා ය. සඳුදා දිනයක් වූ එදින, 12ට පමණ කටයුත්ත අහවර කළ ද මා නැවත හවස 03ට පමණ මව බැලීමට රෝහලට යා යුතු විය.
මේ ලැබුණු කාලය තුළ මා කුරුණෑගල නගරය පුරා ආශාවෙන් ඇවිද ගියේ පාසල් කාලයේ අප මේ නගරය තුළ ගත කළ සොඳුරු නිමේශයන් සිහි ගන්වමිනි.
රජපිහිල්ල පාර්ක් එක පිහිටා ඇත්තේ ද කුරුණෑගල නගර මධ්‍යට වන්නටයි. සතියේ සෑම දිනකම මේ ආශ‍්‍රිත ප‍්‍රදේශය පාසල් මෙන් ම ටියුෂන් සිසුන්ගෙන් ද පිරී යන්නේ රජයේ මෙන් ම පෞද්ගලික පාසල් ද ටියුෂන් පංති ද, බොහෝ ප‍්‍රමාණයක් මේ ආශ‍්‍රිතව පිහිටා ඇති බැවිනි. එනිසා පෙම්වතුන් ද විශාල වශයෙන් මේ ප‍්‍රදේශයේ දක්නට ලැබේ.
ඉස්සර අප ටියුෂන් යාමට නගරයට ආ විට බොහෝ විට පාර්ක් එකට යන්නෙමු. ආහාර ගැනීමට, පාඩම් කිරීමට, වතුර බීමට බොහෝ විට යන්නේ පාර්ක් එකටයි.
අප බොහෝ විට කෑම ගැනීමට යන තෝසේ කඬේ ද මේ අසල පිහිටා තිබීමත් නිසා පාර්ක් එක නිතර දකින දසුනකි. එකල මේ පාර්ක් එකේ සෑම මොහොතක ම අධික ජන ගඟකි.
නමුත්........
මෙදින අසල ඇති තෝසේ කඩයෙන් බඩකට පුරවාගත් මා පාර්ක් එක දෙසට පියමැන්නේ එහි ඇති චමත්කාරය විඳ දරා ගැනීමටයි.
අහෝ.........
එහි අද ඇත්තේ පාලූ මූසල බවකි. කෆල් එකක් දෙකක් ඇරෙන්නට වෙන කිසිවෙකු මෙහි සිටියේ නැත. මා ගේට්ටුවෙන් ඇතුලූ වන විට ඒ අසල සිටි නිළධාරීයා මා හට කතා කොට ටිකට්ටුවක් දික් කළේ ය. රු.10ක් ගෙවා එය මිල දී ගත් මා ඒ අසල ම බංකුව මත වාඩි වී ඉයර්ෆෝනය ද කණේ ගසාගෙන සිංදුවක් අසන්නට වූයෙමි. එවිට ද මට කල්පනා වූයේ ඉස්සර දුටු සුන්දරත්වය අද කොහිදැයි කියා ය.
මා අසලට ආ පූසෙක් පුරු.. පුරු.. ගා මගේ කකුලේ දැවටෙන්නට ගත්තේ ඌද මහත් පාලූවෙන් සිටින්නාක් මෙනි. මා සතුටට පත්වූයේ ඌ මගේ පාලූව මකන්නට මෙහි පැමිණීම ගැන ය.
පැය භාගයක් පමණ එහි ගත කළ මා හට ආපහු යන විට ගේට්ටුව අසල සිටි මුරකරු සමග කතාබහ කරන්නට හැකි විය.
ඔහු කියන පිරිදි අලූතෙන් මේ ප‍්‍රදේශයට පත්ව ආ පොලිස් අධිකාරිවරයාගේ අනුදැනුම මත යම් සීමා පනවන්නට සිදු වූ බවයි. ”මේකේ ඇතුලේ හැට්ට ගලවගෙන, කළිසං ගලවගෙන හිටපු කට්ටියක් ව පොලීසියෙන් වීඩියෝ කරලා. දැන් නිතර ම පොලීසියෙන් ඇවිත් චෙක් කරනවා. කාටවත් අශෝබන විධියට හැසිරෙන්න දෙන්නේ නැහැ.” ඔහු මට පැවයී ය. ”ඉස්සර නම් මේකට දවසකට 6000ක් විතර ආවා. ඒත් දැන් 50-60කට වඩා එන්නේ නැහැ. එන අයටත් උපදෙස් දීලා තමයි ඇතුලට ගන්නේ” ඔහු තව දුරටත් මා සමග පැවසී ය.
මෙය සැබෑවකි....... නගරය මධ්‍යට වන්නට පිහිටා ඇති නිසා මෙය නිතරම ලොකු කුඩා සෑම කෙනෙක් ම නිතර යාම ඒම සිදු කරයි. එබැවින් විනය ඉහලින් ම පවත්වා ගැනීම ඉතා ම අත්‍යවශ්‍ය ය.
ඒත්...... තරුණ වයසේ සිටින මොවුන් ද පෙම් කළ යුතුයි නේද? ඒ මත තහංචි දමා ඔුවුන්ට නිදහසේ පේ‍්‍රම කිරීමේ ඇති අයිතිය උල්ලංඝනය කිරීම කොතරම් දුරට සාධාරණ දැයි ඔබට සිතන්නට මම ඉඩ තබමි...........