2013-03-22

ඉන්ද්‍රජිත් මහතාට අපගේ උත්තමාචරය...



අවසානයේ දී කොට්ටාවේ ඉන්ද්‍රජිත් මහතා ජය ගත්තා. තාවකාලිකව හෝ ධර්මපාල විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය ගෙන යන එක නවත්වන්න ආණ්ඩුවට සිදු වුණා. සියලූ දෙමව්පියන් වෙනුවෙන් ඔබ කළ කැපවීමටත්, ඔබගේ ආත්ම ධෛර්යටත් අපගේ උත්තමාචරය.

ආගම්වාදීන්ගේ, ජාතිවාදීන්ගේ මෝඩ ප‍්‍රචාර නිසා බහුජාතික සමාගම් රජ වෙනවා

අපේ ඔය ජාතිවාදී, ආගම්වාදී සළුපිළි පොරවාගෙන ඉන්න සුළු පිරිසක් හම්බ විරෝධී කිය කියා කරන්නේ එක් එක් පුද්ගලික සමාගම්වලට බනින එකයි. ඉතින් අවසානයේ වෙන්නේ ඒ හම්බ කියන සමාගම් ටික මිනිස්සු අතර තවත් ප‍්‍රචලිත වෙනවා. එතකොට මෙකෙන් කරන්නේ බහු ජාතික සමාගම් ටික ප‍්‍රමෝට් කරන එක නේද? එතකොටඔය කියන කට්ටිය වල කපාගෙන තියෙන්නේ තමන්ටම නේද? අනේ මෙහෙමත් මෝඩ රැලක්...

2013-03-18

ඉතා ම හොද ලිපියක්... කියවන්න... අනෙක් අයටත් දෙන්න...

සැරසෙමුද සිරිලකේ තාක්‍ෂණ විප්ලවයට


අපේ ගමේ මල්කාන්ති අක්‌කා දැන් ගමේ නැත. ඇය රටේ ද නැත. නමුත් 'හොඳ' රටක ද නැත. ඇය සිටින්නේ මැද පෙරදිග රටකය. මව් සෙනෙහසේ සොඳුරු හරයන් සියල්ල ඩිරාම්, ඩිනාර් හෝ රියාල් කිහිපයකට විකිණෙද්දී ඇගේ දරුවන් නන්නත්තාරේය. ප්‍රියාදරිය නැති පාළුව මැකීමට මධුවිතට හැකි යෑයි ඇගේ සැමියා තරයේ විශ්වාස කරන බවට ගමේ කාණු සියල්ල සාක්‍ෂි සපයනු ඇත. එදවස මල්කාන්ති අක්‌කා පාසල හැරුණු පසු වැව් කණ්‌ඩිය මතින් නිවෙසට එන අතර ගමේ ඉලන්දාරි නැගුණු බයිසිකල්වල නැගී වෙට්‌ටු දමා ඇය පසු කර ගිය අයුරු මට මැවී පෙනේ. ඔටු කිරි බොන, රටඉඳි කන 'බාබා'ලාගේ 'විසේ' අපේ ගමේ උන් තරම් අහිංසක නැති බවද දනිමි. අහෝ මල්කාන්ති, වසර 'දුසිමක්‌' පාසල් ගොස්‌ නුඹ එදා ඉගෙනගත්තේ මෙවැනි අදකටද.

මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට වසර 60 කටත් වැඩිය. එහෙත් අදත් මේ රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන්නේ මල්කාන්තිලාය. එසේ නම් අප වැනි රටක්‌ මෙතුවක්‌ කලක්‌ නිදහස්‌ අධ්‍යාපනය උදෙසා කළ 'ආයෝජනය' අහවල් දෙයකටද? මේ අපි ශ්‍රමය විකිණිය යුතු යුගයක්‌ද? නිදහස්‌ අධ්‍යාපනය හරි හැටි ආයෝජනය කළේ නම් අද වන විට අප වැඩිම විදේශ විනිමය සොයාගත යුත්තේ 'මොළය' විකිණීමෙනි. යථාර්ථය කෙතරම් කටුක වුවත් කීමට ඉතිරිව ඇත්තේ අපි 'ඇඟ (ශ්‍රමය) විකුණා' මුදල් හොයන ජාතියක්‌ බවමය.

මේ 'වහල් සේවා සැපයීමෙන්' මිදී අපේ රට කරවන්නට නොහැකිද? අපට වෙන 'වැදගත්' ධනෝපායන මාර්ගයන් නොමැතිද? මොරටුව විශ්වවිද්‍යාලයේ, ආචාර්ය ශාන්ත අමරසිංහ (Material Seience and Engineering Dep.) මහතාට අපි නැගූ එම පැනයට ලැබුණු පිළිතුර ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ කිසිදාක නොලියවුණු අතිශයින් වැදගත් ලියවිල්ලක්‌ සඳහා කරුණු සැපයුවේය. බලධාරීන් අකුරු දනී නම් මේ ලියවිල්ල සිරිලක සැබෑ 'සිරි'ලකක්‌ කරන්නට යොදාගත හැක්‌කේය. එය රටේ හැරවුම් ලක්‍ෂයක්‌ වන්නේමය. ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික ගමන්මග කෙසේ වියයුතුද යන්න පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක හසළ බුද්ධියකින් මතු වූ ඒ පිළිතුරේ සඳහන් කරුණු අපේ මේ ලියවිල්ලේ පාදම බවට පත් විය.

අද ලොව මානව සම්පතෙන් බිහිවන ඉහළම ආර්ථික වටිනාකම වනුයේ 'තාක්‍ෂණයයි'. තාක්‍ෂණික මෙවලමක්‌ යනු වත්මන් සමාජයේ මිනිසකුගේ ශරීරාංගයක්‌ තරමට ජීවිතයට බද්ධ වූවකි. බින්තැන්නේ 'රනා' පවා සෘජුව හෝ වක්‍රව මේ තාක්‍ෂණය යොදාගන්නා තැනට පැමිණ සිටියි. තාක්‍ෂණයට ඇති වෙළෙඳ වපසරිය ඒ සා පුළුල්ය. සැබැවින්ම මෙය 'ඉලෙක්‌ට්‍රොනික්‌' ලෝකයකි. එය අද 'ටි්‍රලියන් ඩොලර්' ව්‍යාපාරයකි. මේ සා සුවිසල් තාක්‍ෂණික වෙළෙඳපොළේ අපට විකුණා ගැනීමට ඇත්තේ මොනවාද? සැබැවින්ම අප එහි කිසිsවක්‌ම නොවිකුණන ගානය. නමුත් අප ඒ වෙළෙඳපොළේ අඛණ්‌ඩ පාරිභෝගිකයෙකි. තේරෙන භාෂාවෙන් කිවහොත් 'ඩේලි කස්‌ටමර්'කෙනෙකි. අතේ ඇති සල්ලි ටික මේ වෙළෙඳ පොළේ දියකර හරිනවා විනා කීයක්‌ හෝ මේ වෙළඳපොළෙන් සොයාගැනීමට අප මෙතෙක්‌ අපොහොසත් ඇයි? කුඩා චීපයේ පටන් වෙළෙඳපොලේ ඇති තාක්‍ෂණික මෙවලම් සියල්ල පිටරටින්ම ගෙන්වන්නේ ඇයි? 

මේ තාක්‍ෂණ වෙළෙඳපොළේ කොටස්‌කරුවන් වීමට අපට ප්‍රවේශ මාර්ග 3ක්‌ තිබේ. එකක්‌ නම් අලූත්ම තාක්‍ෂණික මෙවලම් හෝ ක්‍රමවේදයක්‌ සොයාගනිමින් එය වෙළඳපොළට ඉදිරිපත්කිරීමයි. අනෙක නම් පවතින තාක්‍ෂණික මෙවලමක කොටසක්‌ නිර්මාණය කිරීමයි. තවත් ක්‍රමයක්‌ වනුයේ පවතින තත්ත්වයෙන්ම හෝ තත්ත්වය වැඩි දියුණු කළ තාක්‍ෂණික මෙවලමක්‌ ඉදිරිපත් කිරීමයි

තාක්‍ෂණයේ මේ සියලු තැන්හී 'රිසච් ජර්නල්' (research journal) හෙවත් 'පර්යේෂණ සංදේශ' යන්න වැදගත් වේ. පර්යේෂකයකු (researcher) සිය පරීක්‍ෂණාත්මක සොයාගැනීමක්‌ එළිදක්‌වන්නේ මෙවැනි පර්යේෂණ සංදේශයන්හිදීය. මෙහිදී ඉහළම මට්‌ටමේ සොයාගැනීම් බොහෝවිට ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින් පිහිටා ඇති පර්යේෂණ සංදේශවල පළකරනු ලැබේ. මෙවැනි ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත පර්යේෂණ සංදේශ පරිහරණය තුළින් පර්යේෂකයකුට ලබාගත හැකි දැනුම මිලකළ නොහැකි තරම්ය.කෙසේ වෙතත් මෙවැනි පර්යේෂණ සංදේශවල පළ වී ඇති පත්‍රිකා කියවීම සඳහා විශාල මුදලක්‌ ගෙවිය යුතු වේ. මෙය තුන්වැනි ලෝකයේ 'දුප්පත්' පර්යේෂකයාට හෝ තනි ආයතනයකට දරාගත හැක්‌කක්‌ නොවේ. නමුත් පෙරළිකාර තාක්‍ෂණික ගමනක්‌ යන්නේ නම් එවැනි තාක්‍ෂණික සංදේශ හැදෑරීම ප්‍රබල රුකුලක්‌ වන්නේය. 

මේ බව හොඳින් දැන සිටින සමහරක්‌ රටවල් රාජ්‍ය මට්‌ටමින් මැදිහත් වී අදාළ මුදල් ගෙවා මෙම පරීක්‍ෂණ සංදේශ ලබාගන්නේ එය වියදමකට වඩා ආයෝජනයක්‌ බව දන්නා නිසාය. පකිස්‌තානයේ පර්වේස්‌ මුෂාරෆ් බලයේ සිටි සමයේ ඔහු එය සිදුකළේ තම ජාතිය තාක්‍ෂණික ඥානයෙන් සන්නද්ධ කරමිනි. අසල්වැසි එදිරිවාදියා වන ඉන්දියාව සමග හැප්පෙන්නට පකිස්‌තානය බලය ලබාගත්තේ එසේය.

අප වැනි රටකට ද මේ සඳහා රාජ්‍ය මට්‌ටමේ මැදිහත්වීමක්‌ අත්‍යවශ්‍යය. ඇමරිකාවේ පර්යේෂකයා සිය පර්යේෂණාගාරයේ පරිගණකය ඉදිරියේ අසුන්ගත් සැනින් පර්යේෂණයේදී තමන්ට අවැසි තැන් සොයාගැනීම සඳහා ඇඟිලි තුඩින් අවැසි සියලු පර්යේෂණ පත්‍රිකා හැදෑරිය හැක. එරට තාක්‍ෂණයේ බලමහිමයට එයද ප්‍රධාන සාධකයකි.

දෙවනුව මෙහි (ශ්‍රී ලංකාවේ) උපකරණ ප්‍රශ්නයක්‌ද ඇත. පරීක්‍ෂණ සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම ඒවායේ නඩත්තුවද අප වැනි රටක අවමය. මේ මට්‌ටමේ පරීක්‍ෂණ, කටුවක්‌, මිටියක්‌,ටෙස්‌ටරයක්‌ යොදාගෙන කළ හැකි ඒවා නොවේ. ඒ සඳහා අපි පරීක්‍ෂණ උපකරණ අතින් මෙයට වඩා බොහෝ ශක්‌තිමත් විය යුත්තේය. විද්‍යාගාරවලට උපකරණ ලබාදීම ම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ඒවා නිsසි පරිදි නඩත්තු කිරීමද ඉතා වැදගත්ය. මේ සඳහාද රජය මැදිහත්ව අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නේ නම් හෝ ක්‍රමවත් නඩත්තුවක්‌ සඳහා වෙනත් ක්‍රමෝපායක්‌ හඳුන්වාදෙන්නේ නම් ඒ උපකරණ වලින් උපරිම ප්‍රයෝජනය ලබාගත හැකිය.

තෙවැන්න නම් පරීක්‍ෂණ සඳහා අවැසි රසායන ද්‍රව්‍ය ගෙන්වාගැනීමට ඇති ප්‍රමාදයයි. අද මේ රටේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම යනු පෞද්ගලික අංශය සතු ව්‍යාපාරයකි. පර්යේෂකයකු පර්යේෂණයක්‌ ක්‍රියාත්මක කරගෙන යැමේදී ඔහුට එහි ඊළඟ පියවර සඳහා අවශ්‍ය වන රසායනද්‍රව්‍යය කුමක්‌ වේදැයි කල්තියා කිව නොහැකිය. ඔහුට එහිදී යම් රසායන ද්‍රව්‍යයක අවශ්‍යතාව මතුවුවහොත් එය රසායන ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙන්දාට දැනුම්දුන් විට වෙළෙන්දා එය ගෙන්වන්නේ අදාළ රසායන ද්‍රව්‍ය සඳහා කන්ටේනරයක්‌ පිරෙන්නට ඇණවුම් ලැබුණු පසුවය. සමහරක්‌ රසායන ද්‍රව්‍ය ගුවන්මගින් ප්‍රවාහනය ද සිදුනොවන අතර ව්‍යාපාරිකයාට ලාභයක්‌ ලැබිය හැක්‌කේ කන්ටේනරයක්‌ පුරවා එය ගෙන්වූ විටය. නමුත් ඒ සඳහා ඒ සා ඉල්ලුමක්‌ ලැබෙන විට කල්පය අහවරය. සැබැවින්ම අපේ රටේ මෙවැනි පර්යේෂකයකුට මෙවැනි අවශ්‍යතාවක්‌ සපුරා ගැනීම මාස 6කට වැඩි කාලයක්‌ බලා සිටිය යුත්තේය. අවසන එය ඔහු අතට පත්වෙද්දී එක්‌කෝ පර්යේෂණය ගැන ඔහුගේ උනන්දුව ගිලිහී ගොසිනි. නැතහොත් ලෝකයේ තවත් තැනක එය සිදුකර හමාරය. 

තාක්‍ෂණික කර්මාන්තයේ දියුණු රටවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්‌ය. අද පර්යේෂණයේදී පර්යේෂකයාට යම් රසායන ද්‍රව්‍යයක අවශ්‍යතාව මතුවුවහොත් හෙට උදෑසන එය ඔහුගේ විද්‍යාගාරයේය.

ශ්‍රී ලංකාවේදී කර්මාන්ත මට්‌ටමේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම පෞද්ගලික අංශයට ලබාදුන්නද, පර්යේෂණ මට්‌ටම සඳහා එම සැපයුම් රජයේ මැදිහත්වීමෙන් සිදුකළහොත් අගනේය. පර්යේෂණ සඳහා පාදක වන මේ බොහෝ රසායනද්‍රව්‍ය සිංගප්පූරුවේ තිබේ. එරටින් ඒවා ගෙන්වාගෙන ජාතික මට්‌ටමේ රසායන ද්‍රව්‍ය සංචිතයක්‌ පවත්වාගෙන යැමට රජය කටයුතු කරන්නේ නම් අපූරුය. 

බටහිර රටවල කුඩා ප්‍රමාණයේ විද්‍යාගාරයක පවා රසායන ද්‍රව්‍ය සංචිතයක්‌ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන එවැනි එක්‌ සංචිතයක්‌ හෝ තිබේ නම් වටිනාකම කියා නිමකරන්නට නොහැකිය. එවිට පර්යේෂකයන්ට අවශ්‍ය මූලික රසායන ද්‍රව්‍ය එම සංචිතයෙන් මිලට ගත හැක්‌කේය.

මෙවැනි තාක්‍ෂණික නිෂ්පාදනයක්‌ එළිදැක්‌වීමේදී අත්‍යවශ්‍ය වන අනෙක්‌ අංගය නම් අංගසම්පූර්ණ විද්‍යාගාරයකි. නැතිනම් ඒ ඒ අංශවලින් යුතු විද්‍යාගාර පද්ධතියකි. ඉරානය වැනි රටක මෙලෙස පවතින විද්‍යාගාර සියල්ල ජාලගත කර තිබේ. එබැවින් පර්යේෂකයාට තම අවශ්‍යතාවය පරිද්දෙන් ඒ ඒ විද්‍යාගාරය යොදාගත හැකිය. ශ්‍රී ලංකාවේද මෙවැන්නක්‌ ක්‍රියාත්ම විය යුතුය. එසේම පර්යේෂකයනට සිය අවශ්‍යතාවයට අනුව කැමති විද්‍යාගාරයකට ඇතුළුවීමේ අවසරයද ලැබිය යුත්තේය. 

එසේත් නොමැතිනම් ඇමරිකාව කරනා අයුරින් ජාතික විද්‍යාගාර පිහිටුවිය යුතුය. ජාතික විද්‍යාගාර යනු සියලු පහසුකම් සහ උපකරණ ආදියෙන් සමන්විත වූවකි. ඒ සඳහා රටේ ඕනෑම පර්යේෂකයකුට ඇතුළුවීමේ නිදහස තිබේ. අප වැනි කුඩා රටකට මෙවැනි ජාතික විද්‍යාගාර කිහිපයක්‌ පමණක්‌ වුව සෑහේ. 

අවශ්‍ය සියලු සාධක මෙහි නොමැති වුවත් තාක්‍ෂණික කර්මාන්ත නිපැයුමක්‌ සඳහා දායක විය හැකි තවත් ක්‍රමයක්‌ තිබේ. ඒ විදේශයක්‌ සමග ඒකාබද්ධය පර්යේෂණයක්‌ සිදුකිරීමය. යටිතලය ශක්‌තිමත් නොවූවද, ඉතා අගනා මානව සම්පතක්‌ සහිත ශ්‍රී ලංකාවට මෙය හොඳින් ගැලපෙන ක්‍රමයකි. ඒකාබද්ධ පර්යේෂණයක්‌ යනු පර්යේෂණයක එක කොටසක්‌ එක්‌ පාර්ශ්වයක්‌ විසින්ද අනෙක්‌ කොටස තවත් පාර්ශ්වයක්‌ විසින්ද සිදුකිරීමය. මෙහිදී රටක අභ්‍යන්තර එක්‌බද්ධ පරීක්‍ෂණද නැතිනම් රටවල් දෙකක ඒකාබද්ධ පරීක්‍ෂණද ලෙසින් ක්‍රමවේද 2 කි. අප වැනි රටක ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බැවින් විදේශයක්‌ සමග ඒකාබද්ධව අපට හැකි කොටසේ වගකීම ගැනීම ඉතා ගැලපේ. 

ඇමරිකාවේ විශාල සමාගම් ඔවුන්ගේ පර්යේෂණවල බිම් මට්‌ටමේ කොටස භාරදෙනුයේ එරට විශ්වවිද්‍යාලවලටයි. එය සම්පූර්ණවූ පසු ද්විතීක මට්‌ටමේ සිට ආයතනය තුළ පර්යේෂණ ඉදිරියට ගෙන යයි. මෙහිදී ඇමරිකාව වැනි රටක ආයතනයක්‌ තුළ එහි මූලික මට්‌ටමේ සිට සියල්ල කරනවාට වඩා, එය විශ්වවිද්‍යාලයකට පැවරීම ලාභ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එය සිදු කළහොත් එයටද වඩා ඉතා ලාභදායීව අවශ්‍ය කාර්යය ඉටුකරගත හැකිය. නමුත් මේ පිළිබඳව එවැනි ආයතන දැනුවත් කිරීම කෙනකුට පෞද්ගලිකව කළහැක්‌කක්‌ නොවේ. මේ වෙනුවෙන් රජය සම්බන්ධීකරණ කාර්යයක යෙදේ නම් විදේශ පර්යේෂණ සහකරුට ඇතිවන විශ්වාසයද ඉහළ යනවා මෙන්ම වගකීමද ඉහළය. එසේ රජය ඉදිරිපත්ව විදේශ පර්යේෂණ සහකරුවන් සොයා දේ නම් අප විශ්වවිද්‍යාල මගින් මෙය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය. ආර්ථික ගැටලුද මගහැරෙනු ඇත. රටේ ආර්ථිකයට මෙන්ම රටේ දැනුමටද උත්තේජනයක්‌, උත්ප්‍රේරකයක්‌ වනවා නියතය.

සම්පූර්ණ තාක්‍ෂණ මෙවලමක්‌ ඉපැද්දවීම එක්‌ අයෙකුට හෝ දෙතුන් දෙනකුට කළ නොහැක්‌කකි. එය 'බලකායක්‌' අවශ්‍ය කාර්යයකි. බටහිර රටවල් අපට ඒ රටවලට කථාකර පී.එච්.ඩී දෙමින් ඒ අවශ්‍ය මානව සම්පත සම්පූර්ණ කර ගනියි. අපි, අපේ දැනුමද, දායකත්වයද එරටට ලබාදී මෙරටට පැමිණ උපන් රටට දායකත්වයක්‌ දීමට මගක්‌ නොමැතිව බලා සිටිමු. එබැවින් අපට හැකි පමණින් හෝ මෙරට වෙනුවෙන්, මෙරට පාදක කර ගනිමින් ඒ දැනුම ලබාදීමට කටයුතු කළ යුත්තේය.

නමුත් අපේ රටේ අද බිහිවන විද්‍යාවේදී උපාධිධාරීන් බහුතරය නතරවන්නේ එක්‌කො ගුරු වෘත්තියේය. නැතිනම් ඔවුන් තම උපාධිය හේතුවෙන් කළමනාකරණ මට්‌ටමේ රැකියාවක්‌ කරති. විද්‍යාවේදී උපාධිධාරියා ගුරුවෘත්තියට පැමිණ ශිෂ්‍යයන් තනයි. ශිෂ්‍යයා ශිල්ප ඉගෙන ගෙන එම උපාධියම ලබා ගුරුවරයකු බවට පත්වේ. ගුරුවරයෙකුගෙන් ගෝලයකු සහ ගෝලයකුගෙන් ගුරුවරයකු යන චක්‍රය ක්‍රියාත්මක වනවා විනා පර්යේෂකයකු හෝ නිශ්පාදකයකු බිහි නොවේ. ඉතින් එවැනි අධ්‍යාපනයක්‌ රටේ නිෂ්පාදන කාර්යයට කෙසේ නම් දායකවේද? විද්‍යාවෙන් උපාධියක්‌ ලැබූ පුද්ගලයා කළමනාකරණ රැකියාවක යෙදේ නම් ඒ දුන් අධ්‍යාපනය අපතේ නොවේද? තාක්‍ෂණික නිෂ්පාදන කාර්යයේදී අවශ්‍ය 'බලකාය' මෙසේ අදාළ නොවන අංශයන්හී විසිර යැම වළක්‌වාගෙන ඔවුන්ව නිසි තැන නිසි ලෙස යෙදවීමට රජය පියවරගන්නේ නම් මැනවි.

සැබැවින්ම මෙහිදී රටේ පෞද්ගලික අංශය සතුව විශාල වගකීමක්‌ තිබේ. ඉතා වටිනා අවස්‌ථා තිබේ. විශාල ආර්ථික ලාභ ලැබීමේ මාර්ග තිබේ. නමුත් ඔවුන් ඒවායෙන් ප්‍රයෝජන නොගන්නේ ඇයිද යන්න මහත් ගැටලුවකි.

ලංකාවේ ඇති අගනා මැට්‌ට ශුද්ධ කර අපි පෝසිලේන් බඩු හදා විකුණමු. නමුත් මේ මැට්‌ට 'ඇඩ්වාන්ස්‌ සෙරමික්‌' බවට පත්කර කුඩා සෙන්සරයක්‌ හැදීමේ හැකියාව ඇත. එවිට මැටි ග්රෑම් 50 ක්‌ වත් නොයන මෙවැනි සෙන්සරයක මිල අර පෝසිලේන් බඩු කට්‌ටලයක මිල මෙන් කිහිපගුණයක්‌ වේ. වඩා ලාභ කුමක්‌ද? රටට වඩා වාසි කුමක්‌ද?

මේ සෙන්සරය හැදීම සඳහා මහා විශාල තාක්‍ෂණික ඥානයක්‌ අවශ්‍ය නොවේ. එය දන්නා අය මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිති. අවශ්‍ය මැට්‌ටද මේ රටේ ඇති තරම් තිබේ. නමුත් මේ දෙක එකතුකර අවශ්‍ය උපකරණ සඳහා ආයෝජනය කර අර සා ලාභදායී නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශය පෙළඹෙන්නේ නැත. 

වීදුරු කර්මාන්තයෙන්ද මෙයට උදාහරණයක්‌ ගත හැකිය. එදා සිටම අපි මේ රටේ නිපදවන්නේ 'සෝඩා ග්ලාස්‌' ලෙසින් හැඳින්වෙන වීදුරුවල ප්‍රාථමික මට්‌ටමේ නිෂ්පාදනයකි. එහෙත් මෙය තරමක්‌ උසස්‌ තාක්‍ෂණයක්‌ යොදා තාක්‍ෂණයෙන් ඉහළ වීදුරු බවට පත් කර එහි පුංචි කැබැල්ලක මිල අර සෝඩා ග්ලාස්‌ වර්ග මීටර ගණනකට වඩා වැඩිය. මේ සා සරළ 'ලාභය' මේ රටේ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයට නොහැකි වීම පුදුමයකි.

සැබැවින්ම මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික 'ඔලූවලට' මෙවන් තාක්‍ෂණික ක්‍රමවේද හඳුනාගැනීමට නොහැකි සෙයකි. පිඟන් මැට්‌ටෙන් 'අමු අමුවේම' කරන නිශ්පාදනයක්‌ වන පිඟන් කෝප්ප හැදීම ඔවුනට තේරුම් ගැනීමට ඉතා පහසු සරළ නිෂ්පාදන කාර්යයකි. එබැවින් එය ව්‍යාපාරිකයාට සමීපය. ව්‍යාපාරිකයා එයට සමීපය. නමුත් ඉන් පියවරක්‌ දෙකක්‌ ඉදිරියට තබා තාක්‍ෂණය විසින් කිහිප ගුණයක ආර්ථික බලයක්‌ ආරෝපණය කළ නිෂ්පාදනය වෙත යැමට පෞද්ගලික නිෂ්පාදකයාට අවස්‌ථාව පැමිණ තිබේ. මේ තාක්‍ෂණික නිෂ්පාදන කටයුත්තට යන මූලික වියදම යනු ආයෝජනයක්‌ම බව පෞද්ගලික අංශයට ඒත්තුගන්වමින් එහි ආකල්ප වර්ධනය කිරීමේ හැකියාව රජයකට තිබිය යුතුය. එහිදී වගකීමේ සහතිකය බවට රජය පත්විය යුත්තේය. බදු සහන දිය යුත්තේය.

ඉහත කී 'සෙන්සරය' සෑදීමට පමණක්‌ නොව තවත් අංශ ගණනාවක විශේෂඥයන් මේ රටේ සිටින බව අපි අවධාරණයෙන් කියන්නෙමු. 

මෙහිදී මේ රටේ විද්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යංශයට ඇති කාර්යභාරය සුළුපටු නොවේ. එය මෙතෙක්‌ හැලහොල්මනක්‌ නැති ඇල්මැරුණු අමාත්‍යංශයක්‌ පමණක්‌ම වුවද එය තමන් යෝධයෙක්‌ බව නොදැන උදාසීනව නිදා සිටින යෝධයෙක්‌ වැන්න. මේ යෝධයා තමන්ගේ ශක්‌තිය පිළිබඳ අවබෝධයෙන් නැගී සිටියහොත් මෙරට මහා ආර්ථික විප්ලවයකට ගෙන යැමේ පුරෝගාමියා බවට පත්විය හැකිය. අද එය භාරව සිටිනුයේ මෙරට විද්‍යා ඥානයේ මුදුන්මල්කඩ වන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් බිහි වූ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. 

මෙරට ආර්ථිකය නංවන්නට මෙයට වඩා වටිනා අවස්‌ථාවක්‌ අප සතුවේ යෑයි සිතන්නට නොහැකිය. ආර්ථික සංවර්ධන ඇමතිවරයා හෙවත් බැසිල් රාජපක්‍ෂ මහතා මේ රටේ ප්‍රබලම චරිතයකි. ඒ මහතා මේ සටහන කියවුවහොත් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම පිණිස තාක්‍ෂණික නිෂ්පාදනයේ අවශ්‍යතාවය මැනවින් තේරුම් ගනු නියතය. තේරුම් ගෙන ක්‍රියාත්මක වුවහොත් බැසිල් පාඨලී සුසංයෝගයට රට දිනවන බලවේගයක්‌ තැනිය හැකිය. ඒ වෙනුවෙන් මේ දෙදෙනාම විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ පිරිස්‌ සමග ඉතා සමීප සාකච්ජාවකට යා යුතුය. එම ක්‍ෂේත්‍රයේ, පිරිසේ ජවය බවට මේ දෙදෙනා පත්විය යුතුය. 

අපිට 'ටි්‍රලියන් ඩොලර්' පූර්ණ තාක්‍ෂණ නිෂ්පාදන වෙළෙඳපොළට යැමට අපහසු නම් ඒ තාක්‍ෂණික කාර්යයේ එක්‌ උපාංගයක්‌ හෝ උපාංග නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමු ද්‍රව්‍යයක්‌ හදන ප්‍රමුඛ රට බවට අපට පත් වී ඩොලර් මිලියන 150 ක කර්මාන්තයක්‌ වෙත පහසුවෙන් අපට යා හැකිය. මේ සඳහා පේටන්ට්‌ ආදී ගැටලුවලින් මතුවන බලපෑමද අවමය. මහා තාක්‍ෂණික ක්‍රමවේද නැත. නමුත් අප එවැන්නක්‌ වෙත හෝ යොමුවීමක්‌ද නැත.

තාක්‍ෂණික නිර්මාණයක්‌ යනු බටහිර රටවල් හෝ ජපනා හෝ ජපනාගේ පූර්ණ හැකියාවක්‌ ලෙසින් සිතුවහොත් හැමදාම අපට මැදපෙරදිග වහලා ලෙසින් හෝ, ඇඳුමකට බොත්තමක්‌ සවිකර, මූට්‌ටුවක්‌ දමන රටක්‌ ලෙසින් හෝ පොළොවේ සාරයෙන් යෑපෙන රටක්‌ ලෙසින් පමණක්‌ හිඳින්නට සිදුවනු ඇත.

තාක්‍ෂණික නිර්මාණ පිළිබඳ මානසික බැම්ම බිඳ දමා ඉදිරියට ගිය චීනය අද නිල නොවන මහා බලවතාය. ඉරානය කිසිදු බලපෑමකට යටත් නොවී තමන්ගේ ගමනක්‌ යමින් සිටියි. කොරියාවද එසේමය. අසල්වැසි ඉන්දියාවද මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගනිමින් ක්‍රියා කරන බවක්‌ පෙනෙයි. 

අප මේ ප්‍රවේශය ලබා නොගන්නා තාක්‌, අපේ රටේ රබර් ටික අමු අමුවෙන්ම පිටරට පටවා ඒ රබර්වලින් තැනෙන සිංදු කියනා බෝනික්‌කාව මිලට ගෙන හුරතල් වන ජාතියක්‌ පමණක්‌ම වනු නියතය.

(ආචාර්ය ශාන්ත අමරසිංහ මහතාගේ ඊ මේල් ලිපිනය- shantha2u@gmail.com)

ප්‍රමාද දෝෂය -

ඉකුත් 10 වැනි ඉරිදා 'කොරියන් සිහිනයෙන් බෑ බෑ ගොඩයන්න' නැමැති ලිපියෙහි මහාචාර්ය අජිත් ඩී අල්විස්‌ ලෙසින් ආචාර්ය ශාන්ත අමරසිංහ මහතාගේ මෙහි පළව ඇති ඡායාරූපය පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි.


ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
ඡායාරූප - නිමල් දයාරත්න

2013-03-09

දිගාමඩුලූ ගුරු ගීතය



පසුගිය පොත් ප‍්‍රදර්ශනයේ දී එක් උදෑසනක කලිසම සහ ෂර්ට් එක හැදගත් වැඩිහිටි තළෙලූ මහත්මයෙක් පොත් පෙට්ටියක් රැුගෙන මා සිටි පොත් කුටියට පැමිණියා. තරමක් දුරක සිට බසයෙන් පැමිණි අයෙක් බව මට වැටහි ගියේ පිළිවෙළකට ඔහු හැද සිටි ඇදුම් තරමක් පොඩිවී කිලිටි වී තිබූ නිසායි. 
දිගාමඩුලූ ගුරු ගීතය නමින් පොතක් තමා ළග ඇති බව ඔහු මා වෙත කරුණාබරිතව පැවසුවා.  දිගාමඩුලූ කොටස මට එතරම් ඔලූවට නොගිය නිසාත්, ඒ වන විටත් අප ළග ගුරු ගීතය පොත තිබූ නිසාත් මා ඔහුට පවසා සිටියේ අප ළග එම පොත ඇති බවයි. පසුව ඔහු දිගාමඩුලූ ගුරු ගීතය නම් පොතක් තමා විසින්  අලූතින්ම ලියා පළ කළ පොතක්  බව පැවසුවා. පොත් ප‍්‍රදර්ශන කාලවකවානුවේම හරිම ආශාවෙන් කියෙව්වා. හරිම ලස්සනයි. යම් යම් අඩුපාඩු කිහිපයක් දැක්කත් ඉතාමත් වටිනා පොතක් කියලා මට කියන්න පුළුවන්. ඊට පසුවත් මා ඔහු සමග දුරකථනයෙන් කිහිපවිටක් කතා කළා. ඔහු පුතා කියා මා අමතන විට මගේ තාත්තා සහ ඔහු අතර ලොකු වෙනස් නැති බව මට හිතුණා.  සැබැවින් පසුව මම ඔහුට ඇමතුවෙත් දුයිෂෙන් ගුරුතුමා කියල යි. ඒ තරමටම මට ඒ පොත ලොකු හැගීමක් ඇති කළා. ස්තුතියි ගුරු පියාණෙනි. 

2013-03-07

කොපි කඬේට වෙච්ච දෙයක්.. අනේ හපොයි...


අපි ඉස්සර ආශාවෙන් බලපු කොපි කඬේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයන් සල්ලි වලට වහල් වී කරන කුපාඩිකම් දැක්කහම සසර කලකිරෙනවා. ගිය සතියේ  ගියපු කතාව තනිකරම වෙළඳ ආයතන දෙකක් වෙනුවෙන් හදපු කතාවක්. තනිකරම වෙළද මාෆියාවට යටවෙලා. ඉතා ම නරක ආදර්ශයක්...

http://muthuvision.net/watch.php?id=43482

පාසල් සිසුන්ගෙන් 68%ක් පුරුද්දක් ලෙස අමතර කියවීම්වල නිරත නොවන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත


පාසල් සිසුන්ගෙන් 68%ක් පුරුද්දක් ලෙස අමතර කියවීම්වල නිරත නොවන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත. සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය එස්. ඞී. හෙට්ටිගේ මහතා විසින් කළ මෙම සමීක්ෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙරට පාසල් ළමුන්ගෙන් 61%ක් පරිගණක සහ විද්‍යුත් මාධ්‍ය පරිහරණයට පෙලඹී ඇති බවයි.

2012-11-11

'මිනිසුන්ට ආදරය කළ උතුම්ම මිනිහා මගේ තාත්තායි' - ඔරුවල බන්දු ගැන දියණිය බන්දුලතා කියන කතාව




මගේ ආදරණීය තාත්තා 'ඔරුවල බන්දු' අප අතරින් වෙන්වී නොවැම්බර් මස 16 වැනි දිනට වසරක්‌ සපිරෙයි. තාත්තාගේ අභාවයෙන් පසුව විවිධ පුවත්පත්වල ඔහු පිළිබඳ පළවූ ලිපි ගණනාවක්‌ කියවන්නට ලැබිණි. සැමියකු, පියෙකු හා සීයා කෙනෙකු ලෙස ඔහු ගෙවූ ජීවිතය පිළිබඳව ඔහු වටා සිටි පාඨකයන්ට මේ මොහොතේ යමක්‌ ලිවිය යුතු යෑයි මම කල්පනා කළෙමි.

තාත්තාට අම්මා පළමුවරට ඇස ගැටී තිබුණේ හැට ගණන්වල අග භාගයේදී. ඔහු කුඩා කල හැදී වැඩුණු කල්එළිය නිවසේ පැවති අවමඟුල් උළෙලකදීය.

"මගේ ප්‍රේමණීය මාතෘ භූමියට මගෙන්ද ඉටුවිය යුතු සේවය නිසි ආකාර ඉටු කිරීමට නම්... එයට තල්ලුව දිය හැකි, හැකියාව ඇති ආසාව හා මාව තේරුම් ගත හැකි තවකෙකුගේ උපකාරය අවශ්‍යයි නේද? කලබල නොවන්න. හිතා බලන්න".

තාත්තා අම්මාට සිය පළමු ලිපිය ලීවේය.

ඒ තාත්තා රුසියාවේ සිට පැමිණ, පුවත්පත් සහ ගුවන් විදුලිය හරහා තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී සිටි කාලයයි. අම්මා ගුරු විද්‍යාල ශිෂ්‍යාවක වූවාය.

"ඔය ජනප්‍රිය අය බොරුවට කෙල්ලො අල්ලගන්න කරන වැඩ" අම්මා වචනයක්‌ දීමට මැලි වූවාය.

තාත්තා උත්සාහය අත්හළේ නැත. අම්මාගේ කැමැත්ත ලැබුණු දින ඔහු පිළිතුරු ලිපිය ලීවේ කවියෙනි.

"මපිය හිතවති පිළිතුරක්‌ දුන්

ලිපිය සැනසුම් සහනයක්‌ වී,

ලිවිය හැක සොම්නසින් මත්වී

කවිය නොව කවි දහක්‌ රොක්‌වී....

වසර කීපයක්‌ ගෙවී ගියේය. ඒ 1971 වර්ෂයයි. තාත්තා එවකට කොළඹ නාලන්දා විද්‍යාලයේ රුසියන් භාෂාව පිළිබඳ ගුරුවරයකු වශයෙන් සේවය කළේය.

අම්මාගේ ගෙවල් දොරවල් බැලීමට තාත්තාගේ තිලක අය්යා, පානදුරේ අක්‌කා සහ ඒ මස්‌සිනාත් පල්ලෙවෙලට පැමිණියහ.

"මෙයාට ගේ ළඟට පත්වීම ගන්න නම් විවාහ සහතිකේ ඉදිරිපත් කරන්න ඕනෑ. ඉල්ලුම් පත්‍ර දාන්න තියෙන්නෙ මේ 15 ට කලින්. ඒ නිසා අපි හෙට බඳිනවා. කවුරුත් එන්න අවශ්‍ය නෑ" තාත්තා කීවේය.

"අපි 'අ' යන්න කියන්න හදනකොට මේ දෙන්න අවසානෙත් අරන් ඉවරයිනෙ"

මල්ලීගේ හැටි දන්නා තිලක අය්යා පුදුම වූයේ නැත.

අයියාත් අක්‌කලාත් ඔවුන්ගේ නිවෙස්‌ බලා පිටත් වූහ. මේ ආරංචිය තාත්තාගේ අම්මාට තාත්තාට හෝ අනෙක්‌ සහෝදර සහෝදරියන් හය දෙනාට හෝ දැන්වීමට අද මෙන් දුරකථන පහසුකම් නොතිබුණ එදා ඔවුනට නොහැකි විය. අනෙක්‌ අතට "බන්දු මල්ලී ගෙදර ගිහින් කියයිනෙ" ඔවුන් සිතුවා විය හැකිය.

තාත්තා, සිය අම්මා, තාත්තා, අවිවාහකව සිටි ලොකු අක්‌කා සහ මල්ලි සමග පදිංචිව සිටි ඔරුවල මහ ගෙදර ගියේය. පසුදා උදෑසන මල්ලී සමග එකම බසයේ නැඟී අතුරුගිරියට එනතෙක්‌ පැමිණි තාත්තා ඔහුගෙන් සමු ගෙන පල්ලෙවෙල බලා පිටත් විය. අයියා යන්නේ ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීමට බව එකම මල්ලී දැන සිටියේ නැත. විවාහය ලියාපදිංචි කර මසක්‌ පමණ ගත විය.

"මඟුල් ගෙවල් අවශ්‍ය නෑ" තාත්තා කීවේය.

"ගැහැනු ළමයෙක්‌ නිකම්ම ගෙදරින් එළියට දෙන්න බෑනෙ" අපි පොඩියට උත්සවයක්‌ ගනිමු".

අම්මාගේ පාර්ශ්වයේ යෝජනාවට තාත්තාට එකඟ වන්නට සිදු විය.

"මම මනමාලියක්‌ ගෙනෙනවා. එන්න අවශ්‍ය නෑ දැනුම් දෙන්නයි ලිව්වේ.

තාත්තා සිය සහෝදර සහෝදරියන්ට තැපල්පත් යෑව්වේය.

"බලන්න නංගි, මල්ලී අපට මඟුල් කියල තියෙන හැටි මිනිහගෙ හැටි දන්න හින්ද අපි ආවා"

අක්‌කලා අම්මා සමග මැසිවිලි නැඟූහ.

දෙපාර්ශ්වයේ ළඟම ඥතීන් පමණක්‌ සහභාගි වූ කුඩා සාදය සංවිධානය කර තිබුණේ ගම්පහ තානායමේය. අම්මා තනිවම චාම් ඔසරියකින් සැරසුණාය. ඇගේ අම්මාගේ බල කිරීමට කුඩා තැල්ලක්‌ පමණක්‌ හිස පැළඳ ගන්නට අම්මාට සිදු විය.

තාත්තා සිය දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමග ඔරුවලින් පිටත් වී ඇත.

"මල්ලී, මනමාලිගෙ මල් පොකුර"

තානායමට එන අතරමඟදී අක්‌කලා මතක්‌ කළහ.

"ආ ඒක තව ඉස්‌සරහ තැනකට හදන්න දීලා තියෙන්නෙ. තාත්තාගේ පිළිතුර විය.

''මල්ලී මල් පොකුර" අක්‌කලා යළිත් විමසූහ.

"මල් පොකුර නැතිව එයාට මා එක්‌ක එන්න බෑ. කිව්වොත් බලා ගනිමුකෝ" කී තාත්තා තානායමට ඇතුළු විය.

ජයමංගල ගාථා, මංගල පෝරු මංගල ඡායාරූප කිසිවක්‌ නොමැතිව පැවැති සාදය අවසානයේ දෙදෙනා මධු සමය සඳහා හංවැල්ල තානායම බලා පිටත් වන්නට සූදානම් වූහ.

"නංගී, මල්ලි එපා කීව නිසා අපි තවම කැවුම් ගෙඩියක්‌වත් ඉව්වෙ නෑ. ඔයා දන්නවනෙ එයාගේ හැටි. මේ ගමන්ම ගෙදර එන්නත් බැරි නෑ. අනේ අද ගෙදර එන්න හැදුවොත් ඔයා බෑ කියන්න". අක්‌කලා අම්මා වට කර ගත්හ.

වාහනයට ගොඩ වූ තාත්තා. අම්මාගේ හිස පැළඳි තැල්ල දෙස බලා "ඔයාගෙ ඔය ඔළුවෙ ගහල තියෙන එක නිසා පාරෙ යන මිනිස්‌සු මං දිහාත් බලනවා. බැරිද ඕක ගලව ගන්නැ"යි ඇසුවේය.

අම්මා තැල්ල ගලවා අත්බෑගයේ දමා ගත්තාය. පසුදා උදැසන වනවිට කැලණි ගඟ පිටාර ගලා හංවැල්ල නගරය යට වෙමින් තිබිණි.

"මහත්තයා දැන්ම පිටත් වුණොත් නම් ගෙදර යන්න පුළුවන් වෙයි" තානායමෙන් උපදෙස්‌ ලැබිණි.

මධුසමය අතර මග නවතා දෙදෙනා වහා ඔරුවල ගෙදර බලා පිටත් වූහ.

අක්‌කලා කැවුම් පිසිති. අම්මා දුව ගොස්‌ කොහේ දොa තිබූ රන් මාලයක්‌ ගෙනැවිත් කරට දමා අලුත් ලේලිය පිළිගත්තාය. ඇඳුම් බෑගය අතට ගත් තාත්තා කුලී රියෙන් බැස කෙළින්ම ගොස්‌ ඔහුගේ කාමරයට වැදුණි. තනිවම නැන්දම්මාට, මාමාට සහ නෑනලා මස්‌සිනාලාට ආචාර කරන්නට අම්මාට සිදු විය.

විවාහයෙන් පසු තාත්තා අම්මාත් සමග පල්ලෙවෙල අම්මාගේ ගෙදර පදිංචියට ආවේය. එහේ නිසංසල පරිසරය ඔහුගේ ලේඛන කටයුතුවලට කදිම තෝතැන්නක්‌ විය. අම්මා නිවසේ බර කරට ගත්තාය. නිවසට පැමිණි යමෙකු "බන්දු කෝ වෙඩින් ෆොටෝ" යෑයි ඇසූ විට කුඩා මා වඩා ගන්නා තාත්තා මේ තියෙන්නේ ගහපු ෆොටෝ" එක යෑයි කීවේය. තාත්තාට කැලණි සරසවියේ රුසියන් භාෂාව පිළිබඳව කථිකාචාර්ය පදවිය ලැබුණේ මේ සමයේය.

තාත්තා නැකත් විශ්වාස නොකළේය. කුඩා මට නැකතට බත් කවාවි යෑයි සැක කළ තාත්තා දිනක්‌ සවස වැඩ ඇරී පැමිණ බත් කමින් සිටියදී ඔහු අසල ගැවසෙමින් සිටි මට පළමු වරට හීල්බත් කැව්වේය.

මටත් නංගීටත් හඳහන් නැත. නැකතට අකුරු කියවා නැත. "හඳහනක්‌ නැතිව මේ කෙල්ලො දෙන්නා කාටවත් දෙන්නෙ කොහොම"දැයි නෑදැයන් අසන විට "මං වගේ හිතන තව එක මිනිහෙක්‌ හරි මේ රටේ ඉඳීවි" යන්න ඔහුගේ පිළිතුර විය.

වෙනත් තාත්තලා මෙන් ඔහු අපව තුරුළු කරගෙන සුරතල් කළේ නැත. නෑව්වේ, ඇඳුම් ඇන්දුවේ, කැව්වේ හෝ නිදි කෙරෙව්වේ නැත. කලාතුරකින් දිනක අපව වඩාගෙන නිවස ඉදිරිපිට පාරේ එහෙ මෙහෙ ඇවිද ගිය ඔහු, අප ඇඳුම්වල ජරා කරගත්විට එය ගලවා පඳුරක්‌ අයිනට විසිකර ගෙදර පැමිණ "මෙන්න මෙයාව හෝදලා ගන්නැ"යි අම්මාට භාර දුන්නේය. ඔහුගේ ලෝකය පොත් පත් බව වටහාගෙන සිටි අම්මා සියල්ල පහන් සිතින් ඉවසුවාය.

මේ තියෙන රුසියන් පොත්වලින් කවුරුහරි වැඩක්‌ ගන්න ඕනෑ. තාත්තා මට රුසියන් හෝඩිය උගන්වන්නට පටන් ගත්තේය. එහෙත් මට එය ප්‍රිය නොවිණි.

"ළමයින්ට එයාල කැමැති දේවල් කරන්න ඉඩ දෙන්න ඕනෑ. එතකොට තමයි හරියන්නෙ" රුසියන් භාෂාව ඉගෙන ගැනීමට ඔහු මටත් නංගීටත් බල කළේ නැත.

ඔයාලා දෙන්න හොඳට ඉගෙන ගෙන හොඳ රස්‌සාවල් සොයා ගන්න ඕනේ. දැන හැඳුනුම්කම් තිබුනට ඔයාලට රස්‌සාවල් ඉල්ලාගෙන මම ඔය කිසිම දේශපාලකයෙක්‌ පස්‌සෙ යන්නේ නෑ" ඔහුගේ අවවාදය විය.

මා අසූ ගණන්වල අග භීෂණ සමයේ උසස්‌ පෙළ සඳහා ජීව විද්‍යා විෂය තෝරාගත් විට තාත්තා මෙසේ ලීවේය.

"විද්‍යා උසස්‌ පෙළ කරමින් උනන්දුවේ 

මගේ ලොකු දොaණි යා යුතු හරි ගමන් යෑවේ

රැකියා කියන්නේ ඕනැම දෙයක්‌ නොවේ

වෙදකම හො¹ ලොව සුවපත් කරන් දුවේ



දුව දෙන විටදී ජනතාවට ඔසු දොaත

දෙනු ඇත තාත්තා මොළ තුළටම බේත

කළ යුතු දෙය මෙයයි යුගයේ මරු භීත

රෝහල වෙතට කැඳවමු මඳනල සීත"

මා කැලණිය වෛද්‍ය පීඨයට තේරී ඇති බව ඇසූ තාත්තා වහා ඔහුගේ හිතවතකු වූ එවකට පීඨාධිපතිව සිටි කාලෝ පොන්සේකා මහතා හමුවන්නට ගියේය.

"මගේ කෙල්ල ඔබතුමා ළඟට එනවා. එයාව හොඳට බලා ගන්න ඕනෑ" තාත්තා කියා තිබිණි. එහෙත් ඉන් පසුව මා වෛද්‍ය පීඨයෙන් පිටවන තුරුම තාත්තා කිසි දිනක, කිසිම හේතුවකට එහි ආවේ නැත. ඒ ඔහුගේ හැටිය.

නංගී උසස්‌ පෙළට කලා විෂයන් තෝරා ගත් විට තාත්තා සතුටු විය.

"ඔයාට විශ්වවිද්‍යාලෙට ගිහින් භාෂා කරන්න පුළුවන්" පොඩි දුව ඔහුගේ අඩි පාරේÊයනු ඇතැයි තාත්තා සිතන්නට ඇත. නමුත් ඇයට නීති පීඨයට ඇතුළුවීමට ප්‍රමාණවත් ලකුණු ලැබුණු විට "ඔයා නීතිය හදාරන්න ලැබුණ අවස්‌ථාව අත හරින්න එපා. නැති බැරි පොඩි මිනිහට උදව් කරන්න". තාත්තා උපේක්‍ෂා සහගත විය.

ඇස්‌දෙක වගේ දෙන්නා මිස ගොඩක්‌ නැහැ

අවවාදයකි පිළිගනු ඇත සැකක්‌ නැහැ

මොනවා ඉගෙන ගත්තත් මට කමක්‌ නැහැ

මිනිස්‌ කමක්‌ නැත්නම් කිසි වැඩක්‌ නැහැ

ඔහු ලියා තැබුවේය.

"අපි ඔයාල දෙන්නට මනමාලයො හොයන්නෙ නෑ. ජීවිත කාලෙටම එකට ඉන්න පුළුවන් කා එක්‌කද කියල තමනුයි තීරණය කරන්න ඕනෑ. ඒ හින්දා ඔයාලට ගැලපෙන කෙනෙක්‌ හොයා ගන්න හැබැයි උසස්‌ පෙළ පාස්‌වෙලා විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ".

අපගේ විවාහ සම්බන්ධයෙන් තාත්තාගේ අදහස එය විය. කියන්නට තිබෙන දේ තැන නොතැන නොබලා කෙනෙකුගේ මූණටම කීම තාත්තාගේ සිරිත විය. මේ හේතුව නිසා ඔහු සමග අමනාප වූ පිරිස බොහෝය. "මිනිස්‌සුන්ට ඔහොම මූණටම වචන කියන්න එපා" යෑයි අම්මා කී විට "කියන්න තියෙන දේ මූණටම නොකියා තැන තැන කියල වැඩක්‌ තියෙනවාදැ"යි ඔහු ඇසුවේය.

2005 වසර වන විට හැත්තෑ වැනි වියට එළැඹ සිටි තාත්තා සිතින් ශක්‌තිමත් වුව ද ගතින් දුබලව සිටියේය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගෙන සිටි ඔහු නිවසට වී කල්ගත කිරීම ප්‍රිය කළේය. නිවසට පැමිණෙන කවුරුන් හෝ වුවද අතින් අල්ලාගෙන පුස්‌තකාල කාමරයට කැඳවාගෙන ගොස්‌ අතීත විස්‌තර කීම ඔහුගේ එකම විනෝදාංශය විය.

අප කුඩා කලදී මෙන්ම තාත්තා ඔහුගේ මුණුපුරා හා මිණිබිරියන් දෙදෙනකු වඩාගෙන සුරතල් කළේ නැත. එහෙත් ඔවුන් වටකරගෙන කවි, කතාන්දර කීවේය. "මේ ළමයින්ට මහ පොළොව පෑගෙන්න ඕනෑ"යි කියා අතින් අල්ලාගෙන ගමේ පාර දිගේ ඇවිද ගියේය.

"බබා කවියක්‌ කියන්න බලන්න" යෑයි සීයා කී විට දරුවෝ ද වහා ඉදිරිපත් වී සීයාගේම කවියක්‌ කියා ඔහු සතුටු කරන්නට වග බලා ගත්හ.

"ටක්‌ක ටකට මක්‌ක ටා

ලී දෙක එකටෙක ගටා

චුට්‌ටො පෙළක්‌ නට නටා

කැරකෙති බෙරකරු වටා"

තාත්තා යටැසින් අප දෙස බලමින් සිනා සුණේය.

"එළඹෙන වටදී අවදිය පොත පත කියන

මේ කවි ලියූ සීයා ඇත්තේ කොතැන

මට නැති නමුදු පරලොව හැම දෙන පතන

නුඹ හට ඇසේ මගෙ නම සමහරු කියන"

ඔහු ලීවේය.

කවර හෝ දරුවකු විභාගයක්‌ ඉහළින් සමත් වූ බව ඇසූ විට තාත්තා හදවතින්ම සතුටු වූවේය.

"ඉගෙන ගන්න, ඉගෙන ගන්න වැඩි වැඩියෙන් ඉගෙන ගන්න"

රුසියන් කියමනක සිංහල පරිවර්තනය නිතර ඔහුගේ මුවග රැඳී තිබුණි. නිවසට පැමිණෙන දරුවන්ට අත්සන යොදා ඔහු ලියූ පොතක්‌ තිළිණ කිරීම තාත්තාගේ සිsරිත විය.

රටේ පැවැති දේශපාලනය ගැන තාත්තා බෙහෙවින් කලකිරී සිටියේය. ඔහු වසර ගණනාවක්‌ ඡන්ද පොළට ගියේ නැත. උන් ඔක්‌කොම එකයි" තාත්තාගේ අදහස විය.

යුද්ධය විජයග්‍රහණය කරා ළඟා වන විට තාත්තාගේ මාතෘකාව එය පමණක්‌ම විය. පුවත්පත් කියවීමට අමතරව සවස 6.30 ට දෙමළ ප්‍රවෘත්ති විකාශයෙන් පටන්ගෙන රාත්‍රි 10.00 වනතුරු සියලුම රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්ති විකාශ නැරඹූ තාත්තා "දිවයින" "ජනහමුවට ලියූ කවි"වල වස්‌තු බීජ සෙව්වේය.

අපෝ! කවි සීයලගෙ ගෙදර යන්න බෑ. ප්‍රවෘත්ති බලලා එපා වෙනවා" මගේ පොඩි අය මැසිවිලි නැඟුහ.

දේශපාලනය එපා වී සිටි තාත්තාට යුද ජයග්‍රහණයෙන් පසු එළැඹි ජනාධිපතිවරණය ගැන මහත් උනන්දුවක්‌ තිබිණි. ඡන්දය ළං වත්ම "ලොක්‌කී ඡන්දය දෙන්න ගෙදර එනවා නේදැ"යි කීප විටක්‌ම මට දුරකථනයෙන්ද මතක්‌ කළේය. ජනාධිපතිවරණය පැවැති දින උදෑසනින්ම හැරමිටි වාරුවෙන් ඡන්දපොළට ගිය තාත්තා මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අන් කිසිවක්‌ නිසා නොව උපන් රට ගැන ඔහු තුළ වූ අසීමිත ආදරය නිසාමය.

විටින් විට අසනීප වූ තාත්තාගේ විශේෂඥ වෛද්‍යවරයා වූයේ වෛද්‍ය අනුරාධ දසනායක මහතාය. වෛද්‍යවරුන් වෙත යැම තාත්තාට ප්‍රිය නොවුණි. "මට ඇති ලෙඩක්‌ නෑ" ඔහු හැම විටම කීවේය.

මා මුල් වරට තාත්තා කැටුව වෛද්‍ය අනුරාධ වෙත ගිය දින රෝහණ විඡේවීර තාත්තා සමග ලුමුම්බාවේ එකට ඉගෙන ගත් බව දැන සිටි එතුමා තාත්තාගේ සුදු වූ කොණ්‌ඩය හා දිගට වවා තිබුණු සුදු රැවුල දෙස මොහොතක්‌ බලා සිට "විඡේවීරත්a ජීවතුන් අතර සිටියා නම් අද මේ වගේ ඉඳිවී නේ දැයි කීවේය. තාත්තා වෛද්‍ය අනුරාධ ගැන මහත්සේ පැහැදුණේය. ලෙඩ ගැන විමසීම තාත්තා නො ඉවසන බව දන්නා එතුමා ඉන්පසු සෑම හමුවකදීම තාත්තා සමග රටතොට සහ දේශපාලනය ගැන පමණක්‌ කථා කළේය. ලෙඩ ගැන විමසුවේ තාත්තා මගහැර මගෙන් පමණි.

අම්මා ළඟ නොමැතිව පැය කීපයක්‌ හෝ ගෙවීමට තාත්තා අකැමැති විය. ඔහු අම්මා ඇමතුවේ බිසවුන් වහන්සේ කියාය. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගොස්‌ සිටි අම්මා, තාත්තා පළමු ලිපියෙන් ඉල්ලා සිටි පරිදිම ඔහුගේ සියලු ආවතේව කරමින් ද කොතෙක්‌ ගතින් දුබල වුවද අත් නොහළ ලේඛන කටයුතුවලට අතහිත දෙමින්ද වසර ගණනාවක්‌ නිවාස අඩස්‌සියේ පසු වූවාය.

"ලොක්‌කී, ඔයාලගෙ අම්ම දෙවි කෙනෙක්‌" තාත්තා කීප විටක්‌ම මා හා පැවසුවේය.

පසුගිය නොවැම්බර් 15 වැනි දින උදයේ දුරකථනයෙන් මා ඇමතූ අම්මා, තාත්තා හුස්‌ම ගැනීමේ අපහසුවකින් පෙළෙන බව දැනුම් දුන්නාය. තාත්තා බැලීමට ගිය මම ඔහු රෝහල්ගත කළ යුතු බව තීරණය කළෙමි. මහත් අපහසුවෙන් සිටිය ද ඔහු තනිවම සුපුරුදු සරම හා අත්කොට කමිසයෙන් සැරසුණේය. වාහනයට නඟින්නට හැරමිටි වාරුවෙන් නිවසේ ඉදිරිපසට ඇවිද ආ තාත්තා ඔහුගේ පුස්‌තකාල කාමරයේ උළුවස්‌සට දැත් තබාගෙන නිහඬව බොහෝ වේලාවක්‌ පොත් රාක්‌ක දෙස බලා සිටියේය. ඒ ඔහු මෙලොව දමා යන්නට ලොබ කළ එකම වස්‌තුවයි.

සිරුර යන්ත්‍රයකට සම්බන්ධ කොට ඔක්‌සිජන් ලබා දී රෝහල් ඇඳ මත වැතිර සිටියදී මා ඇමතූ තාත්තා, "ලොක්‌කී කොහොමහරි මාව බේරගන්න. මට තව පොත් දෙකතුනක්‌ ලියන්න තියෙනවා" යෑයි කීවේය.

එහෙත්.... ඔහුගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට මට හැකියාවක්‌ ලැබුණේ නැත.

බන්දුලතා සේනාධීර                                                                       උපුටා ගැනීම - දිවයින 

2012-08-23

සිංහලට පෙම් බැඳි චීන මහාචාර්යවරයා



                 ”මට ශ‍්‍රී ලංකාව උපන් බිම වාගෙයි. දැන් මම වැඩිපුර ම ආශ‍්‍රය කරන්නේ ලාංකිකයෝ. මෙහෙ ඉන්න අය මට සලකන්නේ චීන ජාතිකයෙක් විධිහට ම නෙමෙයි, භාගයක් සිංහල වෙච්ච අයෙකුට වගෙයි. අපි දකින විධිහට මෙහෙ මිනිස්සු හරිම සංවර භාවයෙන් යුතු, ආගන්තුක සත්කාර ඉතා ඉහළින් ම සිදු කරන අයයි. බෞද්ධ ශිෂ්ඨාචාර මත ගොඩ නැගුණු සිංහල ජාතිය හරිම කරුණාවන්ත යි”. 
                ”ඒ වාගේ ම ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවයත් ඉතා ඉහළ යි. විශේෂයෙන් මේ වගේ පොඩි රටක නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපන පහසුකම් ගත්තහම ලෝකයේ අනිත් රටවලටත් ආදර්ශයක්. සමාජවාදී රටක් වූ චීනයේ පවා උසස්පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යයන පහසුකම් ගෙවලා තමයි ලබා ගන්න තියෙන්නේ.” යැයි ඔහු ඉතා අපූරුවට සිංහල වචන උච්චාරණය කරමින් පවසයි.  
                ඔහුගේ නම ‘හව් වේමින්’ ය. දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ චීන භාෂාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයා ඔහු ය. ඔහු ප‍්‍රථම වතාවට ලංකාවට පැමිණෙන්නේ 1983 දෙසැම්බර් මාසයේ දී යි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂා සාහිත්‍ය සහ බුදුදහම හැදෑරීමට අධි ශිෂ්‍යත්වයක් ලැබිමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ”මේ මගේ රට ම යි, මේ මිනිස්සු මගේ ම අය”, මින් ගේ සිතට පාළුවක් නොදැණිනි. අරුණාචලම් ශාලාවේ තනි කාමරයක් ඔහුට ලැබුණු අතර ඔහුගේ ආහාර පිළියෙල කර ගත්තේ ඔහු විසින් ම ය. මහාචාර්ය පී.බී. මීගස්කුඹුර, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි,  මහාචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, මහාචාර්ය පියසීලි විජේමාන්න, මහාචාර්ය ඩබ්ලිව්.එම්. ගුණතිලක, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය උදය ප‍්‍රශාන්ත මැද්දේගම, වැනි මහා වියතුන්ගෙන් සිංහල භාෂාව ඉගෙනගත් ඔහුට මහාචාර්ය ලිලී ද සිල්වා, මහාචාර්ය චේතිය විතානාච්චි, මහාචාර්ය යතගම ධර්මපාල හිමි, වැනි වියතුන්ගෙන් පාලි භාෂා සාහිත්‍ය සහ ථේරවාද බුදුදහම පිළිබඳ දැනුම ලැබුණි.  
                මේ කාලයේ මින්ට මහාචාර්ය සරත්චන්ද්‍ර හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු අතර චීන සාහිත්‍ය පිළිබඳ මින් ලියූ ලිපි සරත්චන්ද්‍රයන්ගේ පැසසීමට ලක් විය. ”මින් සිංහල අගේට ලියනවානේ, කතා කරනවානේ” යැයි සරත්චන්ද්‍ර මහතා සතුටින් කීහ. 
                සාර්ථක ව අධ්‍යාපනය හැදෑරූ මින් නැවත 1985 දෙසැම්බරයේ දී චීනය බලා පිටත් වන්නේ සිංහල ඩිප්ලෝමා සහතිකය ද පාලි හා බෞද්ධ සාහිත්‍ය සහතිකය ද ලබා ගෙන ය. නැවත ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට යන ඔහු සිංහල අංශයේ අංශ ප‍්‍රධාන, උප පීඨාධිපති, විශ්වවිද්‍යාල පර්යේෂණ හා පශ්චාත් උපාධි පාලක ආදි තනතුරු රාශියක් හොබව යි. 
                ඔහු උපන්නේ 1955 පෙබරවාරි මස 4 වැනිදා ය. ඒ උතුරු චීනයේ කහ ගං ඉවුරේ පිහිටි පැරණි නගරයක් වූ ‘ශිආන්’ නම් ප‍්‍රදේශයේ ය. ඔහුගේ පියා ‘හව්සංෆු’, වෘත්තියයෙන් ගමනා ගමන මණ්ඩලයේ කළමණාකරුවකු විය. මව පෙහෙ කම්හලක සේවය කළ අතර, තමා උපන් පසු ඇය සේවයෙන් විශ‍්‍රාම ගියා ය. මින්ට සහෝදරියක් සහ සහෝදරයෙක් ද සිටී. 
                වර්ෂ 1949 දී චීනය රදළ ධනපති අත්වලින් මිදී පොදු ජන අයිතියට පැවරෙමින් තිබූ අතර, 1949ට පෙර ඔහුගේ මවගේත් පියාගේත් ජීවිත දුකින් පිරී තිබුණි. එකල මාවෝ සේතුං නමැති ශ්‍රේෂ්ඨ ජන නායකයා පීඩිත පන්තියේ යහපත උදෙසා සටන් වදින බව දැන ගත් මින්ගේ පියා වයස අවුරුදු 14 දී ජපන් ආක‍්‍රමණිකයන්ට හා චීන රදළ ධනපතීන්ට එරෙහිව විමුක්ති හමුදාවේ බටයකු වී තුවක්කුව අතට ගත්තේ ය. කොමියුනිස්ට්වාදය පීඩිත ජනතාවගේ එකම විමුක්ති දහම ලෙස දුටු ඔහු, කොමියුනිස්ට්වාදය හදාරමින් පීඩිතයෙන්, සූරාකෑමෙන් තොර සමාජයක් උදෙසා කැප වූයේ ය. එකල මින්ගේ මව ද විමුක්ති හමුදාවේ සෙබළියක් වූවා ය. 
                හව් වේමින් කුඩා කල පදිංචි ව සිටි නිවස අවට කම්කරුවන්, වැඩ මූලිකයන්, කළමණාකරුවන් මෙන් ම රජයේ සංස්ථා ප‍්‍රධානින්ගේ නිවාස ද විය. මේ සෑම දෙනෙක් ම ඇඳුමෙන් ආහාර පානවලින් හැසිරීමෙන් සමාන වූහ. ධන තන්හාවත්, තරගයත් එකල ජනතාව අතර නොතිබිණි.
                පුංචි හව් වේමින් මුලින් ම පාසල් ගියේ ‘ශ්යැන් යං’ නුවර පිඟන් කම්හලට නුදුරින් පිහිටි පාසලට ය. පිඟන් කම්හලේ දස දහස් ගණනක් වූ සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ඒ පාසල පිහිටුවා තිබිණි. 1961 සිට 1964 දක්වා අවුරුදු 03ක කාලයක් මින් ඒ පාසලෙන් අධ්‍යාපනය ලැබිය. එම වසර 03 දී ම ඔහු පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා විය.
                පසුව ‘ශිආන්’ නුවර මාධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දි ඔහුට උසස් සාහිත්‍ය ගූරුවරයකු ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු අතර එමගින් ඔහුට චීන මහා ලේඛක ‘ලූ ශූන්’ ගේ පොත්පත් කියවීමට අවස්ථාව ලැබිණි. සමාජ යථාර්ථය මතු කෙරුණු එම පොත් කියවීමෙන් ඔහු මහත් ආශ්වාදයක්, ධෛර්යයක් ලැබිය. 1966 දී ඇරඹු චීන සංස්කෘතික විප්ලවයට මධ්‍යම මහා විද්‍යාල ශිෂ්‍යයකූ වු හව් වේමින්ට ද මුහුණ දිමට සිදු විය. ඔහු තම සහෝදර ශිෂ්‍යයන් සමග කම්හලට ගොස් කම්කරුවන් සමග එක්ව වැඩ කළෝ ය. උපන් දා සිට කම්කරු පවුල් සමග වැඩුණු මින්ට මෙය අමුත්තක් නොවිය. 
විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පරික්ෂණයෙන් සමත් වු මින්ට විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයකට ඇතුළු විමට අවස්ථාව ලැබිණි. නමුත් සංස්කෘතිය සහ භාෂාව පිළිබද ව විෂයයන්ට ඇලූම් කළ ඔහුගේ වාසනාවට ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ තේරිම් කණ්ඩායම එම සතියේ ම ‘ශිආන්’ නගරයට පැම්ණි අතර, හව් වේමින් ද ඔවුන් විසින් ඒ සදහා තෝරා ගත් එක් අයෙක් විය.
                එහි දී අරාබි, පෘතුගීසි සහ සිංහල යන භාෂාවලින් එකක් තෝරා ගැනීමට ඔහුට සිදු විය. සිංහල, චීන බසින් උච්චාරණය වූයේ ‘සංචාලෝ’ යන නමිනි. මේ වචනය ඇසුණු මොහොතේ ම මින්ට සිහි වූයේ සංඝයා වහන්සේලා ය. ‘සංචා’ යනු සංඝයා ය. සංඝයාට බැඳුණු භාෂාවත්, බුදු සමයට බැඳුණු භාෂාවත් යන අදහස ඔහු තුළ ඇති විය. බුදු දහම පිළිබඳ ඇල්මකින් සිටි ඔහු ඒ නිසා සිංහල භාෂාව තෝරා ගන්නා ලදි. ඔහුගේ දෙවන  විදේශ බස ඉංග‍්‍රිසි වූ අතර දර්ශනය හා ඉතිහාසය ද ඔහුගේ විශ්වවිද්‍යාල විෂය මාලාවට ඇතුළත් විය. 
                එම විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප‍්‍රමුඛාචාර්යවරයා ලෙස කටයුතු කළ සිරිපාල ලිලාරත්න මහතා යටතේ ඉතා උද්යෝගයෙන් සිංහල ඉගෙන ගත් මින් ඉතා ඉක්මනින් ඇසීම, කතා කිරීම, කියවීම, ලිවීම සහ පරිවර්තනය කිරීම ආදියට මහත් රුසියකු විය. 
                1977 දී මින් සිංහල ශාස්ත‍්‍රවේදි ගෞරව උපාධිය පළමු පෙළ සාමාර්ථයක් ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරන ලදි. නමුත් ලීලාරත්නයන් විසින් ඔහුට සරසවියෙන් ඉවතට යාමට නුදුන් අතර, සිංහල අංශයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ඔහුට ලැබිණි. එහි දී ඔහු වඩාත් සිංහල සම්භාව්‍ය සාහිත්‍ය හැදෑරූ අතර එනිසා ම තමා තුළ ආධ්‍යත්මික වෙනසක් ඇතිවෙනවා ඔහුට දැණිනි. මේ නිසා ම සිංහල භාෂාවට ඔහුගේ ආදරය වැඩි විය. ඒ කාලයේ දී ලීලාරත්න මහතා ප‍්‍රමුඛ සෙසු ආචාර්යවරුන් සමග එක් වූ මින් ‘සිංහල චීන ශබ්ද කෝෂය’ සහ ‘සිංහල පාඨමාලා ග‍්‍රන්ථ’ නිපද වූයේ ය.  
                පසුව 1981 දී කථිකාචාර්ය හව් වේමින් මහා විද්‍යාලයක ඉංග‍්‍රිසි ගුරුවරියක වූ ‘ත්සව්යැන්’ සමග විවාහ වූ අතර ඔවුන්ට දුවක් ද උපන්නා ය. 
                පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාර්ථක ව අධ්‍යාපනය ලබා චීනයේ පෙයිචිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට ගිය මොහුට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවන්නේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ය. ඔහුට ඒ සඳහා චීන රජය සහ හොංකොං බෞද්ධ සංවිධානය විසින් ශිෂ්‍යත්වයක් පිරිනැමිණි. කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය තිලක් කාරියවසම්, යන මහත්වරුන්ගේ උපදෙස් ලබමින් ඔහු තම ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා තොරතුරු එක් රැුස් කරන්නට විය. ඔහු ථෙරවාදී සම්ප‍්‍රදායයන් හඳුනා ගැනීම සඳහා ලංකාව පුරා සංචාරය කළේ ය. වෙසක් පොසොන් උත්සව නැරඹුවේ ය. ධර්ම සාකච්ඡා, ශීල ව්‍යාපාරවලට සම්බන්ධ වූයේ ය. සුප‍්‍රකට අප‍්‍රකට බෞද්ධ ආරාම නැරඹුවේ ය. පුරා වස්තු පරීක්ෂා කළේ ය. සිංහල පාලි දහම් පොත් හැදෑරුවේ ය. අලූත් දැනුම චීන යුන්නන් පළාතේ ථෙරවාදය සමග සැසඳුවේ ය. ලංකාවේ ථෙරවාදී බුදු දහම පිරිසිදුව ආරක්ෂා වි ඇති ආකාරය ඔහුට පෙණිනි. 
                ඔහුගේ උපාධි නිබන්ධය කැළණිය විශ්වවිද්‍යාලය විසින් පිළිගණු ලැබිමෙන් අනතුරු ව ඔහුට එම විශ්වවිද්‍යාලයේ ම චීන භාෂා ආචාර්යවරයා ලෙස පත්විමක් ලැබෙයි. ඔහු එතැන් පටන් අද දක්වා ම අපේ රටේ විශ්වවිද්‍යාල කිහිපයක ම චීන දර්ශනය, චීන මූලාශ‍්‍ර පරිශීලනය, චීන බුදු දහම, චීන භාෂාව ආදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක ම කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. එමෙන් ම ඔහු චීන ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ චීන භාෂා පාඨමාලාවේ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. එසේ ම බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ, ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහ සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සංගමයේ ද චීන භාෂාව උගන්වයි. තරුණසේවා සභාවේ සහ බස්නාහිර පළාත් අමාත්‍යාංශය විසින් සංවිධානය කළ චීන භාෂා පාඨමාලාවල ද ප‍්‍රමුඛාචාර්යවරයා වූයේ ද ඔහු ය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය ආදී මෙරට ආර්ථිකයට ඝෘජු ලෙස සම්බන්ධ වන ආයතනවල වෙබ් අඩවි, මාර්ගෝපදේශන අත්පොත් ආදිය සැකසීමෙහි දී චීන භාෂාව පිළිබඳ උපදේශකවරයා වෙමින් අපේ රටේ දියුණුවට මහත් වූ සේවයක් මහාචාර්ය හව් වෙමින් විසින් සිදු කර ඇත. 
                මීට වසර 05කට පමණ පෙර සබරගමුව විශ්වවිද්‍යාලයේ චීන භාෂා පාඨමාලාව ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදී. මේජර් සහ මයිනර් වශයෙන් පැවැත්වෙන මෙම උපාධි පාඨමාලා සඳහා සිසු සිසුවියන් 100කට වැඩි පිරිසක් ඇතුළත් වී සිටිති.
                චීන සාහිත්‍ය කෘති සිංහලට නැගී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව මින් පවසයි. ලේඛකයන් කිහිප දෙනෙක් විසින් ග‍්‍රන්ථ සහ ලිපි සුළු ප‍්‍රමාණයක් සිංහලට නගා ඇති මුත් චීන සාහිත්‍ය කෘති විශාල ප‍්‍රමාණයක් ඇති බවත්, ඒවා සිංහලට මෙන් ම සිංහල කෘති චීන බසටත් නැගිය යුතු යැයි ඔහු පවසයි.
මේ කාර්යභාරය තම දෙවුරට ගත් ඔහු, ඩබ්ලිව්. එම්. ගුණතිලක, අශෝක පේ‍්‍රමරත්න, දර්ශන රත්නායක, වැනි මහාචාර්යවරුන් සහ සේනාරත්න වීරසිංහ, වරුණ චන්ද්‍රකීර්ති යන අය සමග එක් වී කෘති රැුසක් සිංහලයට නගා ඇත. මේ කෘති අතරින් ‘ සුන් ත්ස’ තුමාගේ ‘යුද්ධ කලාව’, ‘ලා  ඕ ත්ස’ තුමාගේ ‘තා ඕ තචිං’, කොන්ෆියුසියස්තුමාගේ ‘ලූන් යු’ සහ ‘ශා ඕ චිං’ ග‍්‍රන්ථ ද්වය ද, ‘චීන පැරණි උපමා හා උපහාස කතා’ ආදිය විශේෂ තැනක් ගත් කෘති වේ. එමෙන් ම සිංහල භාෂාව සහ බුදු දහම පිළිබඳ විශ්වවිද්‍යාල ග‍්‍රන්ථ රාශියක් චීන බසට නගා ඇත. ‘ශුයි හු චුඅන්’ නම් කොටස් 43කින් යුක්ත චීන රූපවාහිණී ටෙලි නාට්‍ය ‘දිය කඩ ඉම’ නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ද මහාචාර්ය මින් විසිනි.
                ඔහු දැනට චීන භාෂාව උගන්වන, ‘ලූං හුවා’ නමින් සංස්කෘතික ආයතනයක් බත්තරමුල්ලේ පවත්වාගෙන යයි. රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවලට, සංචාරක මාර්ගෝපදේශකයින්, අධ්‍යාපනික කටයුතුවලට, ව්‍යාපාරික කටයුතුවලට හෝ වෙනත් කාරණාවලට චීනයට යන සහ චීනයේ සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනා පළමුව පැමිණෙන්නේ මොහු වෙත ය. ඔහුගෙන් භාෂාව ඉගෙන ගැනිමට එන අයවලූන්ට චීන සමාජ, සංස්කෘතික දැනුම ද ලබා දීමට මහාචාර්ය මින් ලෝබ නොවේ. 
                චීන ශ‍්‍රී ලංකා මිත‍්‍ර සබඳතා, තව දුරටත් ශක්තිමත් කිරීම උදෙසාත්, චීන භාෂාව, සංස්කෘතිය හා සමාජය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරලීම උදෙසාත්, චීන ත‍්‍රිපිටක බෞද්ධ ග‍්‍රන්ථ පිළිබඳ අවබෝධයක් ඇති කරලීම උදෙසාත් ‘චීන අධ්‍යයනය’ නමින් නව ශාස්තී‍්‍රය සඟරාවක් එළි දැක්වීමට ඔහු කටයුතු යොදමින් සිටින අතර, ඒ සඳහා මෙරට මෙන් ම චීනයේ ද විද්වත්හූ රාශියක් එක්රොක් වී සිටින බව මින් මහතා පවසයි.
                අපේ රටේ විද්වතුන් රට හැර යන යුගයක බලවත් චීන දේශයේ සිට මේ පුංචි ලක්දිවට පැමිණ සිංහලූන් සමග කටයුතු කරමින් සිංහලෙන් කතා කරමින් දේශයේ රාජ තාන්ත‍්‍රික බැඳීම්වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන මෙවැනි විද්වතුන් අපට මහත් ආඩම්බරයක් සේ ම ඔවුන් රැුක ගැනීම අප සතු යුතුකමක් මෙන් ම වගකීමක් ද වන්නේ ය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, ආතර් සී ක්ලාක් වැනි මහා ප‍්‍රාඥයින් නොරටින් මෙරටට පැමිණ සිදු කළ මහා මෙහෙවර අපේ රටේ සමාජ පන්තියේ නව චින්තන ධාරාවක් ඇති කරලීමට සමත් වූවා මෙන් ම අපේ රට ලෝකයා ඉදිරියේ ඔසවා තැබීමට මහගු මෙහෙවරක් වු බව  ඕනෑම කෙනකුට සරල ව වටහා ගත හැක. අවුරුදු 20කට අධික කාලයක් මෙරටෙහි සිසු සිසුවියන්ගේ ඇස් පාදමින් ගුරුහරුකම් දෙමින් සිටින මේ මහාචාර්යතුමා ව තවමත් මෙරටෙහි පුරවැසියකු නොවන අතර සම්මාන පුරවැසිකමක් හෝ ලබා දෙමින් ඔහු ව රැුක ගැනීමට කටයුතු කිරීම අදාළ බලධාරීන්ට දෑස් විවර වේවා යන්න මාගේ පැතුම යි.

ඔහු ගේ ලිපිනය සහ දුරකථන අංකය - අංක 299, කඩුවෙල පාර, බත්තරමුල්ල. 0718293899, 0773597619

2012-06-14

ඩෙංගු මර්දනය කරන්න මෙන්න මාර්ගය


ඩෙංගු මර්දනය කරන්න මෙතෙක් අපේ රට සමත් වී නැත. එක දිගට ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මා හට ලියන්නට සිතුනේ මට හමුවු විශේෂ පුද්ගලයකුගෙන් අසන්නට ලැබුණු දේ නිසයි. මෙය අග දක්වා කියවා බලන්නැයි මම ඔබගෙන් ඉල්ලා සිටිමි. එයට හේතුව නම් ඔබ මෙන්ම සෑම දෙනෙක් ම මෙය දැනගත යුතු වීමයි.    
ඔහු ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ සහ සමාජවිද්‍යා විද්‍යාඥයෙක් වන ”ආචාර්ය නිමල් කස්තුරිආරච්චි” මහතා යි. . ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස මෙයයි.
 
”ඩෙංගු රෝගය හැදුන කෙනෙකුට ඩෙංගු වාහක මදුරුවා දෂ්ට කිරීමෙන් පසු නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කළොත් තමයි ඔහුටත් ඩෙංගු රෝගය බෝවෙන්නේ. එවිට ඩෙංගු රෝගය හැදුන අයට මදුරුවෝ දෂ්ට කිරීම වැළකුවොත් ඩෙංගු බෝවෙන්නේ නැහැ. එනිසා කරන්න  ඕන වැදගත්ම දේ තමයි ඩෙංගු හැදුන කෙනකුට මදුරුවෝ දෂ්ට කරන එක වළක්වන එක”.
”එකෙදි මුළින් ම කළ යුතු දේ තමයි ඩෙංගු රෝගීන් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම. උණ හැදුනහම ඩෙංගු ද නැත් ද කියලා දැනගන්න ක‍්‍රමවේද තියනවා. කොළඹ නම් රසායනාගාර  ඕනෑ තරම් තියනවා. ඉක්මනට ලේ ගිහින් දුන්නාහම දවස් 03කින් විතර බලා ගන්න පුළුවන්. එහෙත් කොළඹින් ඈතට වන්නට නම් මේ පහසුකම අඩු යි”.
”වසංගත රෝග පාලනයට අදාළ රජයේ චක‍්‍රලේඛනයට අනුව ඩෙංගු රෝගියෙක් වාර්තා වුණාම ඔහු සිටින ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා(MOH) ට දැනුම් දෙන්න  ඕන.
එවිට එම  නිලධාරියා ක‍්‍රියාත්මක වෙලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ව අදාළ රෝගියා සිටින නිවස අවට සිටින මදුරුවන් විනාශ කරන්නට කටයුතු කරන්න  ඕන.
එසේ කළ යුතු වන්නේ ඩෙංගු වාහක මදුරුවන් රෝගියාගේ දෂ්ට කිරීමෙන් අනතුරුව අවට සිටින අයගේ දෂ්ට කිරීමෙන් ඔවුන්ට රෝගය වැළඳිය හැකි නිසා.”
”මෙම ක‍්‍රමයේ නිෂ්චිත පදනමක් තිබෙනවා. එහෙත් දැනට මේ දේ කෙරෙන්නේ නැහැ. ඩෙංගු රෝගීන් තමන්ගේ ප‍්‍රදේශයේ ඉන්න බවට MOH හෝ PHIලව දැනුවත් කෙරෙන්නේ නැහැ.

අනිත් එක PHI කැමති ප‍්‍රදේශයට ගිහිල්ලා දඩ ගහලා පොලිස් වැඬේ කරන්න මිසක් තමන් ඉගෙන ගෙන තියන තාක්ෂණික වැඬේ, ඒ කියන්නේ මදුරුවෝ ඉන්න තැන් ශුද්ධ කරලා, දුම් ගහලා, මදුරුවන්ව විනාශ කරලා දාන්න නෙමෙයි”.
”එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දනයට අදාළ බලධාරීන් මේ දේ අධීක්ෂණය කරන්න  ඕන. උදාහරණයක් විධියට ඩෙංගු රෝගීන් 4000ක් ඉන්නවා කියා සිතමු. එතකොට බලන්න  ඕන මේ 4000ම MOHට දැනුම් දීලා තියනවා ද කියලා.

ඊට පස්සේ බලන්න  ඕන MOH සහ PHI මේවට මොනවද ගත්ත ක‍්‍රියාමාර්ග කියලා. මේ එකිනෙකා අතර පවතින වෘත්තීය අන්තර් සම්බන්ධතාවන් සහ ඔවුන්ගේ වගකීම අද ගිලිහිලා. මෙච්චරටම ඩෙංගු මර්දනය කර ගන්නට අද බැරි වෙලා තියෙන්නේ ඒකයි”.
ආචාර්ය නිමල් කස්තුරිආරච්චි මහතා පවසන්නේ ඩෙංගු රෝගියෙක් වාර්තා වූ සැණින් ම අදාළ රෝගියාගේ නිවස අවට අයව දැනුවත් කළ යුතු බවයි.
එවිට අවට සිටින අයට ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කළ හැකි ය. එවැනි අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ටත් මේ ඩෙංගු මර්දන කාර්යයට දායක විය හැකි යි. එසේ නොමැතිව ඩෙංගු මර්දනය කරනවා යැයි කියමින් බැනර්, පෝස්ටර් ගසමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කරන මර්දනය කිසිඳු ඵල ප‍්‍රයෝජනයක් නැති බව ඔහු පවසයි.

එසේ ම අදාළ රෝගියාට මදුරුවන් දෂ්ට කරන්නට ඉඩ නොදී අසනීපය සුව කර ගන්නා තෙක් ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි.
අවසාන වශයෙන් ආචාර්ය කස්තුරිආරච්චි මහතා දැඩි අවධාරණය කර සිටියේ ඩෙංගු වාහක මදුරුවෝ කොපමණ දෂ්ට කළත් ඩෙංගු රෝගියෙක් නොමැතිව කිසිඳු හේතුවක් නිසා ඩෙංගු රෝගය බෝනොවන  බවයි.
තවද මදුරු මර්දනය කළ යුත්තේ රෝගීන් බහුල වශයෙන් සිටින ප‍්‍රදේශ හඳුනාගෙන හෝ රෝගියෙක් සිටින නිවාස අවට පමණක් බවත් සෑම ස්ථානයක්ම ශුද්ධ පවිත‍්‍ර කිරීම ප‍්‍රායෝගිකව කළ නොහැකි බවත් ය.

- වලී-

2012-04-02

ශ‍්‍රී පාදය කරුණා කළෙමු


         
අප රත්නපුරයට ළඟා වන විට දහවල් 1 පමණ වන්නට ඇත. අප කිහිප දෙනකු මෙම ගමනට එක් වූ අතර, උදෑසන ආහාරය ද නිසි පරිදි ලබා ගත නොහැකි වූ නිසා මුළින් ම හෝටලයකට ගොස් කෑම කා යන්නට අප තීරණය කළෙමු. කෑම කා අහවර වූ පසු ඉතා ඉක්මණින් බස්නැවතුම්පලේ ශ‍්‍රීපාදය ආසන්නයට දිවෙන ‘සිරිපාගම’ බස් රථය සොයා ගියෙමු. හවස 2ට රත්නපුරයෙන් බසය සිරිපාගම දක්වා ගමන් ආරම්භ කළ අතර එහි ගාස්තුව රු. 60ක පමණ ගණනක් විය. පැය එකහමාරක පමණ ගමණකින් පසුව බස් රථය සිරිපාද කඳු මුදුන ආරම්භ වන සිරිපාගම දක්වා පැමිණීමට හැකිවිය.
           සිරිපාගමට පැමිණි අප මුළින් ම සිදු කළේ ඒ අසළ තිබෙන ගඟට ගොස් නා ගැනීම ය. එම  ප‍්‍රදේශයට කාලෙකින් වැසි වැටී නොතිබූ නිසා ගෙඟ් වතුර ඉතාම අඩු මට්ටමක පැවතිණි. ගල්වැටිවලින් පිරී තිබූ ගෙඟ් ගල්වැටි අතර තිබූ කුඩා වතුර වලකින් නෑමට අපට සිදු වූ අතර, එහි සිටි මාළුන්ගෙන් කකුල් බේරා ගැනීමට අපට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදු විය.

           නෑමෙන් පසු අප ඒ අසළ පැවති කඩවලට ගොස් ගමන් කිරීමේ දී ආහාරයට ගැනීමට අවශ්‍ය බිස්කට්, වඬේ, බීම ආදිය මිල දී ගත්තේ කඳු මුඳුනට වන්නට අහාර මිල ඉතා අධික යැයි කල්තියා දැන සිටි බැවිණි. කඳු පාමුල ඇඳුම්, ආහාර, සෙල්ලම් බඩු වැනි කඩ රාශියක් තිබූ අතර ඒවා සීසන් එකට පමණක් දමන කඩ බව ඒ කඩයක සිටි මුදලාලි කෙනෙක් අප සමග පැවසී ය.
           හවස 4.30ට පමණ ශ‍්‍රීපාදයට නැගීම ආරම්භ කළ අතර, මීටර් 100, 200, 300 බැගින් අප ටිකෙන් ටික පඩි පෙළ තරණය කරන්නට වුවෙමු. දැඩි අව්රශ්මිය මුහුණු සිසිරා ගිය නිසා ඉන් බේරීමට අප සෙවණ ඇති තැන්වල නැවතෙමින් ගමන් කළෙමු. එදින උදෑසන කාලයේ ශ‍්‍රී පාද මළුවෙන් පිටත් ව රත්නපුර මාර්ගය ඔස්සේ බිමට බැසීමට ආ අය ඒකා දෙන්නා පහළට බසිමින් සිටිනවා අපට මුණ ගැසුණි. ඊට පෙර දින සෙනසුරාදා දිනයක් වූ නිසා දෙතුන් සීයක පමණ විශාල පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාදයට පැමිණි බව මාර්ගය අයිනේ තේ කඩයක් පවත්වාගෙන ගිය අයකු අප සමග පැවසී ය. සාමාන්‍ය සතියේ දිනවල 50-100කට අධික පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රී පාදය කරුණා කරන බවත් නිවාඩු දිනවල එම පිරිස වැඩි වන බවත් ඔහු අප සමග කීය.
පහළට බසිමින් සිටි අය ගැහැනු පිරිමි භෙදයක් නොමැතිව සියලූ දෙනාම ඉතා අපහසුවෙන්, කෙඳිරිගාමින්,  නොන්ඩි ගසමින්, පැමිණෙන ආකාරය අපට දිස් විය. සමහරුන් හැරමිටියක් ආකාරයට ලීයක් ගෙන අපහසුවෙන් පඩි පෙළ බසිමින් සිටි අතර තවත් අය පැමිණියේ වෙනත් අයගේ කරේ එල්ලෙමින් ඔවුන්ගේ ආධාරයෙනි. තරුණ හැඩි දැඩි පිරිමි පවා පැමිණියේ දැඩි අපහසුවකින් බව අපට දැක ගැනීමට ලැබිණි. ඒ අතරේ මත්පැන් බී ඇති බවට සැක කළ හැකි, කෑකෝ ගසමින් බෙර ගසමින් පැමිණි පිරිසක් ද අපට හමුවිණි.
           ටිකෙන් ටික ගමන දුෂ්කර බැව් අපට ද පෙනී ගිය අතර මාර්ගයේ නැවතෙමින්, අසළ කඩවලට ගොස් තේ එකක්, බෙලිමල් එකක් බොමින් ගමන් කළෙමු. රාත‍්‍රී 7-8 පමණ වන විට අපට කිලෝ මීටර් 5ක පමණ දුරක් ඉතාම දැඩි අපහසුතා මධ්‍යයයේ පැමිණීමට හැකි වූ අතර තවත් ඇත්තේ අවාට වඩා අඩු දුරක් බව සිතීමෙන් අප තෘප්තිමත් වූ අතර, දුර ප‍්‍රමාණය පඩි පෙළ දිගේ මීටර් 100න් 100ට ලකුණු කර තිබූ බැවින් අපට දුර ප‍්‍රමාණය නිවැරදි ව නිෂ්චිත කර ගත හැකි විය. නමුත් අපගේ ඒ තෘප්තිමත් භාවය දුහුවිල්ලක් බවට පත් කරන සිද්ධියක් වූයේ අසළ කඩයක මුදලාලි කෙනෙක් අප සමග කී දෙය නිසා ය. එනම් අප ඇත්තටම මෙතෙක් පැමිණ ඇත්තේ කිලෝමීටර් 3ට මදක් වැඩි ප‍්‍රමාණයක් බවත්, තවත් කිලෝමීටර් 6ට වැඩි ප‍්‍රමාණයක් ගමන් කළ යුතු බවත් පඩි පෙළ දිගේ සටහන් කර ඇත්තේ මීටර් ගණන නොව පඩි ගණන බවත්, මීටර් ප‍්‍රමාණය සඳහන් කර ඇත්තේ පඩි පෙළ දිගේ ඇති ලයිට් කණුවල බවත් තව දුරටත් ඔහු අප සමග පැවසීය.


            රාත‍්‍රී 9 පමණ වන විට මාර්ගයේ වෙනත් කිසිවකු අපට හමු නොවූ අතර, අපට ඉදිරියෙන් නඩ කිහිපයක් ගමන් කළ බව කඩවල සිටින අයගෙන් දැන ගන්නට ලැබිණි. අතරින් පතර හමුදා කෑම්ප් පිහිටුවා තිබූ අතර ඔවුන් මේ දිනවල මාර්ගයේ පඩි පේළි සකසමින් සිටින බව දැනගත හැකිවිය.
           එක් අවස්ථාවක අප කිසිසේත් ම නොසිතූ දෙයක් සිද්ධ වූණි. අප ගමන් කළ පඩි පෙළෙහි විෂඝෝර සර්පයෙකි. ඒ අසළ ලයිට් කණුවක් තිබූ බැවින් කල්තියාම ඌව හොඳින් දර්ශණය වූ නිසා සිද්ධ වීමට ගිය විශාල අනතුරකින් බේරීමට අපට හැකි විය. ඌ දඟර ගසමින් පඩි පෙළින් ඈත් වීමට උත්සාහ කළ අතර, මහත් පරිශ‍්‍රමයකින් පසුව, අපේ ගමන් මාර්ගයෙන් පිටතට යාමට ඌ සමත් විය.

            මධ්‍යම රාත‍්‍රිය ළං වන විට අප දැඩි ලෙස හෙම්බත් ව සිටි අතර, ගමනේ දුෂ්කර භාවය අපට දැඩිව දැනෙමින් තිබිණි. දණහිස ආශ‍්‍රිත ව දැඩි ලෙස රිදුම් දුන් අතර තවත් අඩියක් හෝ ඉහළට නැගීමට නොහැකි ව අප පඩිය මත ම හිඳ ගත් අවස්ථා මෙපමණ යැයි සඳහන් කළ නොහැක. කෙසේ හෝ ගමන යා යුතු නිසා නැගී සිට අප නැවත ගමන් කළ අතර පඩිපෙළ දෙපස අත්වැල් ඇති තැන්වල එයට අතින් බර දී ගමන් කිරීමෙන් යම් තරමක ඉස්පාසුවක් ලැබිණි.
           ශ‍්‍රීපාද කඳු මුදුණට සැතපුම් එකහමාරකට පමණ ළං වන විට අප මෙතෙක් පැමිණි මාර්ගය වගේ ම තවත් මාර්ගයක් හමු වුණ අතර, එය කුරුවිට සිට ශ‍්‍රීපාද කන්ද දක්වා දිවෙන මාර්ගය බව දැන ගැනීමට ලැබිණි. මෙම මංසන්ධිය තරමක තැනිතලා බිමක් වන අතර විශාල විශ‍්‍රාම ශාලාවක් සහ එහි නිදා ගැනීමේ පහසුකම් බැතිමතුන්ට සළසා ඇත.
මෙතැන් පටන් ශ‍්‍රී පාද කඳු මුඳුන දක්වා ඇත්තේ ඉතා අපහසු මාර්ගයක් බව පෙනී ගියේ ඝෘජු ව අහස දෙසට මාර්ගය වැටී තිබු බැවිණි. පහළ සිට ඉහළ බලන විට ලයිට් කණුවලින් පාර ආලෝකමත් වී තිබූ නිසා මාර්ගය කඳු මුදුන දක්වා වැටී ඇති ආකාරය දුර සිටම දර්ශණය කර ගත හැකිවිය. මෙම කොටස ඉතා ම අපහසුවෙන් අප ගමන් කළ අතර කඳු මුදුණට ළං වන්නට ළං වන්නට පඩි පෙළ තරණය කිරීම ඉතා ම අපහසු වූයේ පඩි ඝෘජු ව ඉහළට පිහිටා තිබූ බැවින් සහ පැවති දැඩි ගමන් මහන්සිය නිසා ය. අවසානයේ දැඩි පරිශ‍්‍රමයකින් අනතුරුව පාන්දර 1.20 පමණ වන විට අප ශ‍්‍රීපාද මළුවට පැමිණීමට හැකි වූ අතර, තවත් එක් අඩියක් හෝ ඉහළට නැගීමට තිබුණා නම් එය කළ නොහැකි බව අප වටහාගෙන සිටියෙමු.
           ශ‍්‍රීපාද මළුවෙහි ඉතා විශාල පිරිසක් රැඳී සිටි අතර දැඩි ශීතලෙන් බේරිමට ඔවූහු ජර්සි ඇඳගෙන අත්මේස් පැළඳ ගෙන සිටියහ. ගමන් මහන්සිය හා දහඩිය නිසා එකවරම අපට ශීතල නොදැනුණු නමුත්, ටික වේලාවක් යන විට දැනෙන්ට වූ දැඩි ශීතල හා කකුල් රිඳුම් දීම නිසා අප දැඩි අපහසුවට පත් වූ අතර, ශීතලෙන් බේරීම සඳහා උඩ මළුවේ ඇති විශ‍්‍රාම ශාලා දෙකේ ඉඩක් සොයා ගැනීමට වෙහෙසුණි. එහෙත් එය ද අපහසු වූයේ එවා අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගොස් තිබූ බැවිණි.
           ඉහළ මළුවේ සිදු කරන ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව අප ටික වෙලාවක් ඉහළ රැඳී සිටීමෙන් පසු පාන්දර 4.20ට පමණ නැවත පහළට බැසීම ආරම්භ කළෙමු. කළින් යොදාගත් පරිදි පහළට අප බැසීමට අප යොදා ගත්තේ හැටන් දෙසට ඇති මාර්ගය යි. අලූයම් කාලය බැවින් දැඩි ශීතල මැද්දේ ම අප ඝෘජු ව ම පහළට ඇති මාර්ගය ඔස්සේ පහළට බසින්නට වූයෙමු. අප ශ‍්‍රීපාදය තරණය කළ රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් දෙසට දිවෙන මෙම මාර්ගයෙන් විශාල පිරිසක් ගමන් කරන බවක් දක්නට ලැබිණි. ඉහළට වන්නට ඇති අපහසු ප‍්‍රදේශයේ අධික ලෙස බැතිමතුන්ගෙන් පිරී ඇති බැවින් දැඩි ලෙස වංගු තිබූ තැන්වල අපට ඉදිරියට යාමට සිදු වූයේ සෙමින් සෙමින් පෝළිමේ සිටිමිනි. විදේශිකයන් ද ඉතා විශාල වශයෙන් ශ‍්‍රී පාදය කරුණා කරන ආකාරය දක්නට ලැබිණි. වයස් භේදයක් නොමැති ව සෑම අයෙක් ම කන්ද තරණය කිරීමේ දී දැඩි ලෙස අපහසුතාවයට පත් වී ඇත. ඇතැම් කණ්ඩායම් තව දුරටත් ඉහළට යා ගත නොහැකි ව පඩි පේළි මත වාඩි වී සිටි ආකාරය අප පහළට එන විට දක්නට ලැබිණි.
           කෙසේ වෙතත් රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් මාර්ගයේ ගමන් කිරීම අපහසු නොවන බව අපට වැටහී ගිය අතර, එළිය වැටෙන්නට ආසන්න වන විට අපට ශීත ගඟුල ප‍්‍රදේශය වෙත එන්නට හැකි විණි. මේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත මාර්ගය මෙතනින් අවසන් වන අතර, මින් පසුව ඇත්තේ සාමාන්‍ය බෑවුමක් සහිත පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයකි. එබැවින් ඉතා පහසුවෙන් පහළට ගමන් කළ අප හට පැය තුන හමාරක් පමණ ඇතුළත බිමට බැසීමට හැකි විණි.
            තේවතු මැදින් වැටී තිබූ මේ මාර්ගය ඉතා ආකර්ශණීය මාර්ගයකි. ඉතා විශාල පිරිසක් ගමන් කරන බැවින් මාර්ගය දෙපස කඩවල් විශාල ප‍්‍රමාණයක් ඇත. පහළ ප‍්‍රදේශයේ සිටින දොදොල් වෙළෙන්දන්ගෙන් නම් බැතිමතුන්ට එල්ල වන්නේ දැඩි අපහසුවකි. කෙසේ හෝ තම නිෂ්පාදන විකුණා ගැනීමට ඔවුන් මාර්ගයේ ගමන් ගන්නා අයව තමන්ගේ කඩවලට ගෙන්වා ගැනීමට තරඟයට මෙන් පොර කති.
           මෙම ගමනේ දී අප දුටු අවාසනාවන්ත සිද්ධිය විය. එනම් එක් අවස්ථාවක කන්දේ මැද හරියට වන්නට මාර්ගය අයිනේ පාත්තරයක් දෙඅතට ගත්, බොහොම සංසුන් ලීලාවෙන්, භාවනා යෝගීව වැඩ වසන මෙන් පෙණෙන භික්ෂූ නමකි. අපට දිස් වූයේ උන් වහන්සේ ශ‍්‍රී පාදය කරුණා කිරීමට යන බැතිමතුන් විසින් බොහොම ශ‍්‍රද්ධාවෙන් ලබාදෙන දාන වේලක් ලබා ගන්නවා වෙනුවට පාත්තරයට මුදල් ලබා ගැනීමේ ක‍්‍රියාවකි. මාර්ගයේ ගමන් ගන්නා වූ සෑම දෙනාම පාහේ එම භික්ෂූවගේ පාත්තරයට කීයක් හෝ දමා යනවා දක්නට ලැබිණි. එහිදී ගමන් කළ විදේශිකයෙක් වෙතට ම ගොස් මුදල් ලබා ගන්නා ආකාරය අපට දක්නට ලැබීමට තරම් අපි අවාසනාවන්ත වූයෙමු.
           තවත් අවස්ථාවක මාර්ගය අයිනේ රැවුල වවාගත්, සිවුර දරා සිටි භාවනා යෝගියෙක් වැනි භික්ෂුවකි. කුඩා කුටියක් තනාගෙන පිරිත් නූල් බැඳීමේ කාර්යයයේ නිරත ව සිටියේ ය. අප සමග ගමන් කළ අයෙක් ද පිරිත් නූලක් බැඳ ගැනීමට එහි ගිය අතර, පිරිත් නූල බැඳීමෙන් පසු ඔහු අපසු හැරී එන්නට පිටත් වූ විට එම පුද්ගලයා ”මහත්තයා ආධාරයක් කරලා යන්න” යැයි හඩ නගා පැවසීය. ඒ අසළ ම ලොකු පෙට්ටයක් වැනි යමක් තබා තිබුනේ මුදල් එකු කිරීමේ පරමාර්ථයෙනි. මෙවැනි ක‍්‍රියා කරන්නන් වහා ම එම ස්ථානවලින් ඉවත් කිරීම බැතිමතුන්ට සිදු කරන සහනයක් වනු ඇත.
           අපට මෙහි දී අත්විඳින්නට ලැබූ අත්දැකීම් කිහිපයක් මේ ආකාරයෙන් සඳහන් කිරීම, ශ‍්‍රීපාදයට යාමට අදහස් කර සිටින අයට වැදගත් වේ යැයි සිතමි. එසේ ම ශ‍්‍රීපාදය කරුණා කරන විට ඉහළට වන්නට ආහාර ඇතුළු සියලූ දේ ම මිල ගණන් ඉතා ඉහළ වන අතර, අවශ්‍ය ආහාර වර්ග හැකි තරම් පහළින් රැගෙන යාම ඉතාමත් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේ ම කුඩා දරුවන් රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගන්නා අය අපට දැකීමට හැකි වූ අතර, එසේ රැගෙන යන්නේ නම් දෙවරක් සිතා බැලිය යුතු බව මතක් කරමි.

 (ශ‍්‍රී පාදයේ සිදු කළ සංචාරයකින් පසු)