2013-08-24

අර්ධසුඛෝපබෝගී බස් සේවය දැන්වත් අහෝසි කරමු ද?

මා පසුගිය දිනක රාත‍්‍රී 8 ට පමණ හිතවතුන් කිහිප දෙනකු සමග අනුරාධපුරයට යාම සඳහා බස් රථයකට ගොඩ වීමට පිටකොටුවට ගියෙමු. හලාවත, පුත්තලම හරහා යන බස් රථයකට අපි ගොඩවීමු.

"සාමාන්‍ය ගාස්තු ද" යැයි මම කොන්දොස්තරගෙන් ඇසුවේ බසය ඉදිරියේ ඒ පිලිබඳ ව සඳහනක් නොවූ හෙයිනි. 


"නැහැ සෙමිලක්ෂරි" යැයි කොන්දොස්තර මහතා මා වෙත පැවසුවේ ය. බස් එකේ ඉස්සරහ බෝඞ් එක නිල් පාටින් ගහලා තියෙන්නේ අර්ධසුඛෝපභෝගීවල යැයි ඔහු මා හට අමතක වූ දෙයක් මතක් කර දුණි. 

සාමාන්‍ය ගාස්තු මෙන් එකහමාරක ගුණයක් එම බස් රථවල අය කරන බැවින් අපි එම බස් රථයෙන් බිමට බැස අනුරාධපුරයට යන මාර්ග අංක 15 සහ 57 හරහා දිවෙන බස් රථ වෙත ද ගියෙමු. මහත් අවාසනාවකි. ඒ සෑම බස් රථයක ම නිල් පාටින් ලියූ ගමානාන්තය බොඞ් එකෙන් කියා පෑවේ ඒ සියල්ලක් ම අර්ධ සුඛෝපභෝගී බස් බව ය. 

අනුරාධපුර හරහා දිවෙන වව්නියාව සහ යාපනය ආදී බස් රථවල ද තත්ත්වය එසේ ම විය. කරන්නට දෙයක් නොමැති තැන අපි පුත්තලම හරහා දිවෙන මුලින් නැග්ග බසයට ම නැගුනෙමු. ඉතා අධික මුදලක් ගෙවා ටිකට් පත් ලබා ගත් අප අර්ධ සුඛෝපභෝගී පහසුකම් එම බසයෙන් ලැබේතැයි සිතුවෙමු.  

අර්ධ සුඛෝපභෝගී බස්වල සීට් ගණනට වඩා මගීන් ගෙන යා නොහැකි වුවත්, හලාවත, පුත්තලම දක්වා යන තෙක් ම මගීන් ඉතා විශාල ප‍්‍රමාණයක් හිටගෙන කිටි කිටියේ හිරවී සිටි ආකාරය අපට දක්නට ලැබිණි. වාඩිවී සිටි අප ද ඉතාම අපහසුවෙන් බස් රථයේ ගමන් කළේ ඒ තරමට ම මගීන් විශාල ප‍්‍රමාණයක් බස් රථය තුළ සිටි බැවිණි. 

බස් රථය ඇතුළේ රියදුරු මහතාට තරමක් පසුපසින් රූපවාහිණි යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කර තිබීම යම් අස්වැසිල්ලක් අපට ගෙන දුන්න ද තරමක් වෙලා යන විට එය අපට මහත් කරදරකාරී තත්ත්වයක් වූයේ එහි ශබ්දය ඉතාමත් ඉහළ ලෙස වැඩි කර තිබූ හෙයිනි.

අර්ධසුඛෝපභෝගී බස් සේවය අහෝසි කරනවා යන කසුකුසුවක් පසුගිය දිනවල පැවතුණත් එය අහෝසි නොකරන බව පෞද්ගලික ප‍්‍රවාහන සේවා ඇමතිවරයා පසුගිය දිනක පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණි. එහි දී ඔහු කියා තිබුණේ මාර්ග බලපත‍්‍ර සඳහා අධික මුදලක් වැය වන බැවින් බස් හිමියන්ගේ ඉල්ලීම පරිදි අර්ධසුඛෝපභෝගී බස් සේවය අහෝසි නොකරන්නට කටයුතු කළ බව ය. "ඒ වෙනුවට එම බස් රථවල ගුණාත්මක බව වැඩි කරන්නට නීති දැඩි කළා" යන්න ඔහු ප‍්‍රකාශ කොට තිබුණි. 

එහෙත් අපේ රටේ නීති රීති ක‍්‍රියාත්මක වන ආකාරය අප කවුරුත් හොදින් දනී. නීති ගෙන එමින් තවත් සංකීර්ණත්වයට පත් කරනවා වෙනුවට කළ යුතු වන්නේ බස් හිමියන් පවසන පරිදි ඔවුන්ට මාර්ග බලපත‍්‍රවලට විශාල මුදලක් ගෙවීමට සිදු වනවානම් ඒ පිලිබඳ ව සොයා බලා යම් සහනයක් ලබා දීමට කටයුතු යොදන ගමන් ම මේ අර්ධසුඛෝපභෝගී බස් රථ සේවය අහෝසි කර දැමීම යි. 

එය පොදු ගමන් සේවය භාවිත කරන බහුතර මහජනතාවට මහත් අස්වැසිල්ලක් වනු නියත ය. 

වලී

පිංතුරය- අන්තර්ජාලයෙනි

1 comment:

  1. pissuda ban anduwe inna gonnunta terenne nah minissu widina duka, un danne naya aragena atal didie show danna witarai mona huyannakata man me gonnu ralata chande dunnada manda

    ReplyDelete