2013-03-18

ඉතා ම හොද ලිපියක්... කියවන්න... අනෙක් අයටත් දෙන්න...

සැරසෙමුද සිරිලකේ තාක්‍ෂණ විප්ලවයට


අපේ ගමේ මල්කාන්ති අක්‌කා දැන් ගමේ නැත. ඇය රටේ ද නැත. නමුත් 'හොඳ' රටක ද නැත. ඇය සිටින්නේ මැද පෙරදිග රටකය. මව් සෙනෙහසේ සොඳුරු හරයන් සියල්ල ඩිරාම්, ඩිනාර් හෝ රියාල් කිහිපයකට විකිණෙද්දී ඇගේ දරුවන් නන්නත්තාරේය. ප්‍රියාදරිය නැති පාළුව මැකීමට මධුවිතට හැකි යෑයි ඇගේ සැමියා තරයේ විශ්වාස කරන බවට ගමේ කාණු සියල්ල සාක්‍ෂි සපයනු ඇත. එදවස මල්කාන්ති අක්‌කා පාසල හැරුණු පසු වැව් කණ්‌ඩිය මතින් නිවෙසට එන අතර ගමේ ඉලන්දාරි නැගුණු බයිසිකල්වල නැගී වෙට්‌ටු දමා ඇය පසු කර ගිය අයුරු මට මැවී පෙනේ. ඔටු කිරි බොන, රටඉඳි කන 'බාබා'ලාගේ 'විසේ' අපේ ගමේ උන් තරම් අහිංසක නැති බවද දනිමි. අහෝ මල්කාන්ති, වසර 'දුසිමක්‌' පාසල් ගොස්‌ නුඹ එදා ඉගෙනගත්තේ මෙවැනි අදකටද.

මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට වසර 60 කටත් වැඩිය. එහෙත් අදත් මේ රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන්නේ මල්කාන්තිලාය. එසේ නම් අප වැනි රටක්‌ මෙතුවක්‌ කලක්‌ නිදහස්‌ අධ්‍යාපනය උදෙසා කළ 'ආයෝජනය' අහවල් දෙයකටද? මේ අපි ශ්‍රමය විකිණිය යුතු යුගයක්‌ද? නිදහස්‌ අධ්‍යාපනය හරි හැටි ආයෝජනය කළේ නම් අද වන විට අප වැඩිම විදේශ විනිමය සොයාගත යුත්තේ 'මොළය' විකිණීමෙනි. යථාර්ථය කෙතරම් කටුක වුවත් කීමට ඉතිරිව ඇත්තේ අපි 'ඇඟ (ශ්‍රමය) විකුණා' මුදල් හොයන ජාතියක්‌ බවමය.

මේ 'වහල් සේවා සැපයීමෙන්' මිදී අපේ රට කරවන්නට නොහැකිද? අපට වෙන 'වැදගත්' ධනෝපායන මාර්ගයන් නොමැතිද? මොරටුව විශ්වවිද්‍යාලයේ, ආචාර්ය ශාන්ත අමරසිංහ (Material Seience and Engineering Dep.) මහතාට අපි නැගූ එම පැනයට ලැබුණු පිළිතුර ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ කිසිදාක නොලියවුණු අතිශයින් වැදගත් ලියවිල්ලක්‌ සඳහා කරුණු සැපයුවේය. බලධාරීන් අකුරු දනී නම් මේ ලියවිල්ල සිරිලක සැබෑ 'සිරි'ලකක්‌ කරන්නට යොදාගත හැක්‌කේය. එය රටේ හැරවුම් ලක්‍ෂයක්‌ වන්නේමය. ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික ගමන්මග කෙසේ වියයුතුද යන්න පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක හසළ බුද්ධියකින් මතු වූ ඒ පිළිතුරේ සඳහන් කරුණු අපේ මේ ලියවිල්ලේ පාදම බවට පත් විය.

අද ලොව මානව සම්පතෙන් බිහිවන ඉහළම ආර්ථික වටිනාකම වනුයේ 'තාක්‍ෂණයයි'. තාක්‍ෂණික මෙවලමක්‌ යනු වත්මන් සමාජයේ මිනිසකුගේ ශරීරාංගයක්‌ තරමට ජීවිතයට බද්ධ වූවකි. බින්තැන්නේ 'රනා' පවා සෘජුව හෝ වක්‍රව මේ තාක්‍ෂණය යොදාගන්නා තැනට පැමිණ සිටියි. තාක්‍ෂණයට ඇති වෙළෙඳ වපසරිය ඒ සා පුළුල්ය. සැබැවින්ම මෙය 'ඉලෙක්‌ට්‍රොනික්‌' ලෝකයකි. එය අද 'ටි්‍රලියන් ඩොලර්' ව්‍යාපාරයකි. මේ සා සුවිසල් තාක්‍ෂණික වෙළෙඳපොළේ අපට විකුණා ගැනීමට ඇත්තේ මොනවාද? සැබැවින්ම අප එහි කිසිsවක්‌ම නොවිකුණන ගානය. නමුත් අප ඒ වෙළෙඳපොළේ අඛණ්‌ඩ පාරිභෝගිකයෙකි. තේරෙන භාෂාවෙන් කිවහොත් 'ඩේලි කස්‌ටමර්'කෙනෙකි. අතේ ඇති සල්ලි ටික මේ වෙළෙඳ පොළේ දියකර හරිනවා විනා කීයක්‌ හෝ මේ වෙළඳපොළෙන් සොයාගැනීමට අප මෙතෙක්‌ අපොහොසත් ඇයි? කුඩා චීපයේ පටන් වෙළෙඳපොලේ ඇති තාක්‍ෂණික මෙවලම් සියල්ල පිටරටින්ම ගෙන්වන්නේ ඇයි? 

මේ තාක්‍ෂණ වෙළෙඳපොළේ කොටස්‌කරුවන් වීමට අපට ප්‍රවේශ මාර්ග 3ක්‌ තිබේ. එකක්‌ නම් අලූත්ම තාක්‍ෂණික මෙවලම් හෝ ක්‍රමවේදයක්‌ සොයාගනිමින් එය වෙළඳපොළට ඉදිරිපත්කිරීමයි. අනෙක නම් පවතින තාක්‍ෂණික මෙවලමක කොටසක්‌ නිර්මාණය කිරීමයි. තවත් ක්‍රමයක්‌ වනුයේ පවතින තත්ත්වයෙන්ම හෝ තත්ත්වය වැඩි දියුණු කළ තාක්‍ෂණික මෙවලමක්‌ ඉදිරිපත් කිරීමයි

තාක්‍ෂණයේ මේ සියලු තැන්හී 'රිසච් ජර්නල්' (research journal) හෙවත් 'පර්යේෂණ සංදේශ' යන්න වැදගත් වේ. පර්යේෂකයකු (researcher) සිය පරීක්‍ෂණාත්මක සොයාගැනීමක්‌ එළිදක්‌වන්නේ මෙවැනි පර්යේෂණ සංදේශයන්හිදීය. මෙහිදී ඉහළම මට්‌ටමේ සොයාගැනීම් බොහෝවිට ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින් පිහිටා ඇති පර්යේෂණ සංදේශවල පළකරනු ලැබේ. මෙවැනි ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත පර්යේෂණ සංදේශ පරිහරණය තුළින් පර්යේෂකයකුට ලබාගත හැකි දැනුම මිලකළ නොහැකි තරම්ය.කෙසේ වෙතත් මෙවැනි පර්යේෂණ සංදේශවල පළ වී ඇති පත්‍රිකා කියවීම සඳහා විශාල මුදලක්‌ ගෙවිය යුතු වේ. මෙය තුන්වැනි ලෝකයේ 'දුප්පත්' පර්යේෂකයාට හෝ තනි ආයතනයකට දරාගත හැක්‌කක්‌ නොවේ. නමුත් පෙරළිකාර තාක්‍ෂණික ගමනක්‌ යන්නේ නම් එවැනි තාක්‍ෂණික සංදේශ හැදෑරීම ප්‍රබල රුකුලක්‌ වන්නේය. 

මේ බව හොඳින් දැන සිටින සමහරක්‌ රටවල් රාජ්‍ය මට්‌ටමින් මැදිහත් වී අදාළ මුදල් ගෙවා මෙම පරීක්‍ෂණ සංදේශ ලබාගන්නේ එය වියදමකට වඩා ආයෝජනයක්‌ බව දන්නා නිසාය. පකිස්‌තානයේ පර්වේස්‌ මුෂාරෆ් බලයේ සිටි සමයේ ඔහු එය සිදුකළේ තම ජාතිය තාක්‍ෂණික ඥානයෙන් සන්නද්ධ කරමිනි. අසල්වැසි එදිරිවාදියා වන ඉන්දියාව සමග හැප්පෙන්නට පකිස්‌තානය බලය ලබාගත්තේ එසේය.

අප වැනි රටකට ද මේ සඳහා රාජ්‍ය මට්‌ටමේ මැදිහත්වීමක්‌ අත්‍යවශ්‍යය. ඇමරිකාවේ පර්යේෂකයා සිය පර්යේෂණාගාරයේ පරිගණකය ඉදිරියේ අසුන්ගත් සැනින් පර්යේෂණයේදී තමන්ට අවැසි තැන් සොයාගැනීම සඳහා ඇඟිලි තුඩින් අවැසි සියලු පර්යේෂණ පත්‍රිකා හැදෑරිය හැක. එරට තාක්‍ෂණයේ බලමහිමයට එයද ප්‍රධාන සාධකයකි.

දෙවනුව මෙහි (ශ්‍රී ලංකාවේ) උපකරණ ප්‍රශ්නයක්‌ද ඇත. පරීක්‍ෂණ සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම ඒවායේ නඩත්තුවද අප වැනි රටක අවමය. මේ මට්‌ටමේ පරීක්‍ෂණ, කටුවක්‌, මිටියක්‌,ටෙස්‌ටරයක්‌ යොදාගෙන කළ හැකි ඒවා නොවේ. ඒ සඳහා අපි පරීක්‍ෂණ උපකරණ අතින් මෙයට වඩා බොහෝ ශක්‌තිමත් විය යුත්තේය. විද්‍යාගාරවලට උපකරණ ලබාදීම ම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ඒවා නිsසි පරිදි නඩත්තු කිරීමද ඉතා වැදගත්ය. මේ සඳහාද රජය මැදිහත්ව අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නේ නම් හෝ ක්‍රමවත් නඩත්තුවක්‌ සඳහා වෙනත් ක්‍රමෝපායක්‌ හඳුන්වාදෙන්නේ නම් ඒ උපකරණ වලින් උපරිම ප්‍රයෝජනය ලබාගත හැකිය.

තෙවැන්න නම් පරීක්‍ෂණ සඳහා අවැසි රසායන ද්‍රව්‍ය ගෙන්වාගැනීමට ඇති ප්‍රමාදයයි. අද මේ රටේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම යනු පෞද්ගලික අංශය සතු ව්‍යාපාරයකි. පර්යේෂකයකු පර්යේෂණයක්‌ ක්‍රියාත්මක කරගෙන යැමේදී ඔහුට එහි ඊළඟ පියවර සඳහා අවශ්‍ය වන රසායනද්‍රව්‍යය කුමක්‌ වේදැයි කල්තියා කිව නොහැකිය. ඔහුට එහිදී යම් රසායන ද්‍රව්‍යයක අවශ්‍යතාව මතුවුවහොත් එය රසායන ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙන්දාට දැනුම්දුන් විට වෙළෙන්දා එය ගෙන්වන්නේ අදාළ රසායන ද්‍රව්‍ය සඳහා කන්ටේනරයක්‌ පිරෙන්නට ඇණවුම් ලැබුණු පසුවය. සමහරක්‌ රසායන ද්‍රව්‍ය ගුවන්මගින් ප්‍රවාහනය ද සිදුනොවන අතර ව්‍යාපාරිකයාට ලාභයක්‌ ලැබිය හැක්‌කේ කන්ටේනරයක්‌ පුරවා එය ගෙන්වූ විටය. නමුත් ඒ සඳහා ඒ සා ඉල්ලුමක්‌ ලැබෙන විට කල්පය අහවරය. සැබැවින්ම අපේ රටේ මෙවැනි පර්යේෂකයකුට මෙවැනි අවශ්‍යතාවක්‌ සපුරා ගැනීම මාස 6කට වැඩි කාලයක්‌ බලා සිටිය යුත්තේය. අවසන එය ඔහු අතට පත්වෙද්දී එක්‌කෝ පර්යේෂණය ගැන ඔහුගේ උනන්දුව ගිලිහී ගොසිනි. නැතහොත් ලෝකයේ තවත් තැනක එය සිදුකර හමාරය. 

තාක්‍ෂණික කර්මාන්තයේ දියුණු රටවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්‌ය. අද පර්යේෂණයේදී පර්යේෂකයාට යම් රසායන ද්‍රව්‍යයක අවශ්‍යතාව මතුවුවහොත් හෙට උදෑසන එය ඔහුගේ විද්‍යාගාරයේය.

ශ්‍රී ලංකාවේදී කර්මාන්ත මට්‌ටමේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම පෞද්ගලික අංශයට ලබාදුන්නද, පර්යේෂණ මට්‌ටම සඳහා එම සැපයුම් රජයේ මැදිහත්වීමෙන් සිදුකළහොත් අගනේය. පර්යේෂණ සඳහා පාදක වන මේ බොහෝ රසායනද්‍රව්‍ය සිංගප්පූරුවේ තිබේ. එරටින් ඒවා ගෙන්වාගෙන ජාතික මට්‌ටමේ රසායන ද්‍රව්‍ය සංචිතයක්‌ පවත්වාගෙන යැමට රජය කටයුතු කරන්නේ නම් අපූරුය. 

බටහිර රටවල කුඩා ප්‍රමාණයේ විද්‍යාගාරයක පවා රසායන ද්‍රව්‍ය සංචිතයක්‌ පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන එවැනි එක්‌ සංචිතයක්‌ හෝ තිබේ නම් වටිනාකම කියා නිමකරන්නට නොහැකිය. එවිට පර්යේෂකයන්ට අවශ්‍ය මූලික රසායන ද්‍රව්‍ය එම සංචිතයෙන් මිලට ගත හැක්‌කේය.

මෙවැනි තාක්‍ෂණික නිෂ්පාදනයක්‌ එළිදැක්‌වීමේදී අත්‍යවශ්‍ය වන අනෙක්‌ අංගය නම් අංගසම්පූර්ණ විද්‍යාගාරයකි. නැතිනම් ඒ ඒ අංශවලින් යුතු විද්‍යාගාර පද්ධතියකි. ඉරානය වැනි රටක මෙලෙස පවතින විද්‍යාගාර සියල්ල ජාලගත කර තිබේ. එබැවින් පර්යේෂකයාට තම අවශ්‍යතාවය පරිද්දෙන් ඒ ඒ විද්‍යාගාරය යොදාගත හැකිය. ශ්‍රී ලංකාවේද මෙවැන්නක්‌ ක්‍රියාත්ම විය යුතුය. එසේම පර්යේෂකයනට සිය අවශ්‍යතාවයට අනුව කැමති විද්‍යාගාරයකට ඇතුළුවීමේ අවසරයද ලැබිය යුත්තේය. 

එසේත් නොමැතිනම් ඇමරිකාව කරනා අයුරින් ජාතික විද්‍යාගාර පිහිටුවිය යුතුය. ජාතික විද්‍යාගාර යනු සියලු පහසුකම් සහ උපකරණ ආදියෙන් සමන්විත වූවකි. ඒ සඳහා රටේ ඕනෑම පර්යේෂකයකුට ඇතුළුවීමේ නිදහස තිබේ. අප වැනි කුඩා රටකට මෙවැනි ජාතික විද්‍යාගාර කිහිපයක්‌ පමණක්‌ වුව සෑහේ. 

අවශ්‍ය සියලු සාධක මෙහි නොමැති වුවත් තාක්‍ෂණික කර්මාන්ත නිපැයුමක්‌ සඳහා දායක විය හැකි තවත් ක්‍රමයක්‌ තිබේ. ඒ විදේශයක්‌ සමග ඒකාබද්ධය පර්යේෂණයක්‌ සිදුකිරීමය. යටිතලය ශක්‌තිමත් නොවූවද, ඉතා අගනා මානව සම්පතක්‌ සහිත ශ්‍රී ලංකාවට මෙය හොඳින් ගැලපෙන ක්‍රමයකි. ඒකාබද්ධ පර්යේෂණයක්‌ යනු පර්යේෂණයක එක කොටසක්‌ එක්‌ පාර්ශ්වයක්‌ විසින්ද අනෙක්‌ කොටස තවත් පාර්ශ්වයක්‌ විසින්ද සිදුකිරීමය. මෙහිදී රටක අභ්‍යන්තර එක්‌බද්ධ පරීක්‍ෂණද නැතිනම් රටවල් දෙකක ඒකාබද්ධ පරීක්‍ෂණද ලෙසින් ක්‍රමවේද 2 කි. අප වැනි රටක ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බැවින් විදේශයක්‌ සමග ඒකාබද්ධව අපට හැකි කොටසේ වගකීම ගැනීම ඉතා ගැලපේ. 

ඇමරිකාවේ විශාල සමාගම් ඔවුන්ගේ පර්යේෂණවල බිම් මට්‌ටමේ කොටස භාරදෙනුයේ එරට විශ්වවිද්‍යාලවලටයි. එය සම්පූර්ණවූ පසු ද්විතීක මට්‌ටමේ සිට ආයතනය තුළ පර්යේෂණ ඉදිරියට ගෙන යයි. මෙහිදී ඇමරිකාව වැනි රටක ආයතනයක්‌ තුළ එහි මූලික මට්‌ටමේ සිට සියල්ල කරනවාට වඩා, එය විශ්වවිද්‍යාලයකට පැවරීම ලාභ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එය සිදු කළහොත් එයටද වඩා ඉතා ලාභදායීව අවශ්‍ය කාර්යය ඉටුකරගත හැකිය. නමුත් මේ පිළිබඳව එවැනි ආයතන දැනුවත් කිරීම කෙනකුට පෞද්ගලිකව කළහැක්‌කක්‌ නොවේ. මේ වෙනුවෙන් රජය සම්බන්ධීකරණ කාර්යයක යෙදේ නම් විදේශ පර්යේෂණ සහකරුට ඇතිවන විශ්වාසයද ඉහළ යනවා මෙන්ම වගකීමද ඉහළය. එසේ රජය ඉදිරිපත්ව විදේශ පර්යේෂණ සහකරුවන් සොයා දේ නම් අප විශ්වවිද්‍යාල මගින් මෙය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය. ආර්ථික ගැටලුද මගහැරෙනු ඇත. රටේ ආර්ථිකයට මෙන්ම රටේ දැනුමටද උත්තේජනයක්‌, උත්ප්‍රේරකයක්‌ වනවා නියතය.

සම්පූර්ණ තාක්‍ෂණ මෙවලමක්‌ ඉපැද්දවීම එක්‌ අයෙකුට හෝ දෙතුන් දෙනකුට කළ නොහැක්‌කකි. එය 'බලකායක්‌' අවශ්‍ය කාර්යයකි. බටහිර රටවල් අපට ඒ රටවලට කථාකර පී.එච්.ඩී දෙමින් ඒ අවශ්‍ය මානව සම්පත සම්පූර්ණ කර ගනියි. අපි, අපේ දැනුමද, දායකත්වයද එරටට ලබාදී මෙරටට පැමිණ උපන් රටට දායකත්වයක්‌ දීමට මගක්‌ නොමැතිව බලා සිටිමු. එබැවින් අපට හැකි පමණින් හෝ මෙරට වෙනුවෙන්, මෙරට පාදක කර ගනිමින් ඒ දැනුම ලබාදීමට කටයුතු කළ යුත්තේය.

නමුත් අපේ රටේ අද බිහිවන විද්‍යාවේදී උපාධිධාරීන් බහුතරය නතරවන්නේ එක්‌කො ගුරු වෘත්තියේය. නැතිනම් ඔවුන් තම උපාධිය හේතුවෙන් කළමනාකරණ මට්‌ටමේ රැකියාවක්‌ කරති. විද්‍යාවේදී උපාධිධාරියා ගුරුවෘත්තියට පැමිණ ශිෂ්‍යයන් තනයි. ශිෂ්‍යයා ශිල්ප ඉගෙන ගෙන එම උපාධියම ලබා ගුරුවරයකු බවට පත්වේ. ගුරුවරයෙකුගෙන් ගෝලයකු සහ ගෝලයකුගෙන් ගුරුවරයකු යන චක්‍රය ක්‍රියාත්මක වනවා විනා පර්යේෂකයකු හෝ නිශ්පාදකයකු බිහි නොවේ. ඉතින් එවැනි අධ්‍යාපනයක්‌ රටේ නිෂ්පාදන කාර්යයට කෙසේ නම් දායකවේද? විද්‍යාවෙන් උපාධියක්‌ ලැබූ පුද්ගලයා කළමනාකරණ රැකියාවක යෙදේ නම් ඒ දුන් අධ්‍යාපනය අපතේ නොවේද? තාක්‍ෂණික නිෂ්පාදන කාර්යයේදී අවශ්‍ය 'බලකාය' මෙසේ අදාළ නොවන අංශයන්හී විසිර යැම වළක්‌වාගෙන ඔවුන්ව නිසි තැන නිසි ලෙස යෙදවීමට රජය පියවරගන්නේ නම් මැනවි.

සැබැවින්ම මෙහිදී රටේ පෞද්ගලික අංශය සතුව විශාල වගකීමක්‌ තිබේ. ඉතා වටිනා අවස්‌ථා තිබේ. විශාල ආර්ථික ලාභ ලැබීමේ මාර්ග තිබේ. නමුත් ඔවුන් ඒවායෙන් ප්‍රයෝජන නොගන්නේ ඇයිද යන්න මහත් ගැටලුවකි.

ලංකාවේ ඇති අගනා මැට්‌ට ශුද්ධ කර අපි පෝසිලේන් බඩු හදා විකුණමු. නමුත් මේ මැට්‌ට 'ඇඩ්වාන්ස්‌ සෙරමික්‌' බවට පත්කර කුඩා සෙන්සරයක්‌ හැදීමේ හැකියාව ඇත. එවිට මැටි ග්රෑම් 50 ක්‌ වත් නොයන මෙවැනි සෙන්සරයක මිල අර පෝසිලේන් බඩු කට්‌ටලයක මිල මෙන් කිහිපගුණයක්‌ වේ. වඩා ලාභ කුමක්‌ද? රටට වඩා වාසි කුමක්‌ද?

මේ සෙන්සරය හැදීම සඳහා මහා විශාල තාක්‍ෂණික ඥානයක්‌ අවශ්‍ය නොවේ. එය දන්නා අය මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිති. අවශ්‍ය මැට්‌ටද මේ රටේ ඇති තරම් තිබේ. නමුත් මේ දෙක එකතුකර අවශ්‍ය උපකරණ සඳහා ආයෝජනය කර අර සා ලාභදායී නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශය පෙළඹෙන්නේ නැත. 

වීදුරු කර්මාන්තයෙන්ද මෙයට උදාහරණයක්‌ ගත හැකිය. එදා සිටම අපි මේ රටේ නිපදවන්නේ 'සෝඩා ග්ලාස්‌' ලෙසින් හැඳින්වෙන වීදුරුවල ප්‍රාථමික මට්‌ටමේ නිෂ්පාදනයකි. එහෙත් මෙය තරමක්‌ උසස්‌ තාක්‍ෂණයක්‌ යොදා තාක්‍ෂණයෙන් ඉහළ වීදුරු බවට පත් කර එහි පුංචි කැබැල්ලක මිල අර සෝඩා ග්ලාස්‌ වර්ග මීටර ගණනකට වඩා වැඩිය. මේ සා සරළ 'ලාභය' මේ රටේ පෞද්ගලික හෝ රාජ්‍ය අංශයට නොහැකි වීම පුදුමයකි.

සැබැවින්ම මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික 'ඔලූවලට' මෙවන් තාක්‍ෂණික ක්‍රමවේද හඳුනාගැනීමට නොහැකි සෙයකි. පිඟන් මැට්‌ටෙන් 'අමු අමුවේම' කරන නිශ්පාදනයක්‌ වන පිඟන් කෝප්ප හැදීම ඔවුනට තේරුම් ගැනීමට ඉතා පහසු සරළ නිෂ්පාදන කාර්යයකි. එබැවින් එය ව්‍යාපාරිකයාට සමීපය. ව්‍යාපාරිකයා එයට සමීපය. නමුත් ඉන් පියවරක්‌ දෙකක්‌ ඉදිරියට තබා තාක්‍ෂණය විසින් කිහිප ගුණයක ආර්ථික බලයක්‌ ආරෝපණය කළ නිෂ්පාදනය වෙත යැමට පෞද්ගලික නිෂ්පාදකයාට අවස්‌ථාව පැමිණ තිබේ. මේ තාක්‍ෂණික නිෂ්පාදන කටයුත්තට යන මූලික වියදම යනු ආයෝජනයක්‌ම බව පෞද්ගලික අංශයට ඒත්තුගන්වමින් එහි ආකල්ප වර්ධනය කිරීමේ හැකියාව රජයකට තිබිය යුතුය. එහිදී වගකීමේ සහතිකය බවට රජය පත්විය යුත්තේය. බදු සහන දිය යුත්තේය.

ඉහත කී 'සෙන්සරය' සෑදීමට පමණක්‌ නොව තවත් අංශ ගණනාවක විශේෂඥයන් මේ රටේ සිටින බව අපි අවධාරණයෙන් කියන්නෙමු. 

මෙහිදී මේ රටේ විද්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යංශයට ඇති කාර්යභාරය සුළුපටු නොවේ. එය මෙතෙක්‌ හැලහොල්මනක්‌ නැති ඇල්මැරුණු අමාත්‍යංශයක්‌ පමණක්‌ම වුවද එය තමන් යෝධයෙක්‌ බව නොදැන උදාසීනව නිදා සිටින යෝධයෙක්‌ වැන්න. මේ යෝධයා තමන්ගේ ශක්‌තිය පිළිබඳ අවබෝධයෙන් නැගී සිටියහොත් මෙරට මහා ආර්ථික විප්ලවයකට ගෙන යැමේ පුරෝගාමියා බවට පත්විය හැකිය. අද එය භාරව සිටිනුයේ මෙරට විද්‍යා ඥානයේ මුදුන්මල්කඩ වන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් බිහි වූ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. 

මෙරට ආර්ථිකය නංවන්නට මෙයට වඩා වටිනා අවස්‌ථාවක්‌ අප සතුවේ යෑයි සිතන්නට නොහැකිය. ආර්ථික සංවර්ධන ඇමතිවරයා හෙවත් බැසිල් රාජපක්‍ෂ මහතා මේ රටේ ප්‍රබලම චරිතයකි. ඒ මහතා මේ සටහන කියවුවහොත් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම පිණිස තාක්‍ෂණික නිෂ්පාදනයේ අවශ්‍යතාවය මැනවින් තේරුම් ගනු නියතය. තේරුම් ගෙන ක්‍රියාත්මක වුවහොත් බැසිල් පාඨලී සුසංයෝගයට රට දිනවන බලවේගයක්‌ තැනිය හැකිය. ඒ වෙනුවෙන් මේ දෙදෙනාම විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ පිරිස්‌ සමග ඉතා සමීප සාකච්ජාවකට යා යුතුය. එම ක්‍ෂේත්‍රයේ, පිරිසේ ජවය බවට මේ දෙදෙනා පත්විය යුතුය. 

අපිට 'ටි්‍රලියන් ඩොලර්' පූර්ණ තාක්‍ෂණ නිෂ්පාදන වෙළෙඳපොළට යැමට අපහසු නම් ඒ තාක්‍ෂණික කාර්යයේ එක්‌ උපාංගයක්‌ හෝ උපාංග නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමු ද්‍රව්‍යයක්‌ හදන ප්‍රමුඛ රට බවට අපට පත් වී ඩොලර් මිලියන 150 ක කර්මාන්තයක්‌ වෙත පහසුවෙන් අපට යා හැකිය. මේ සඳහා පේටන්ට්‌ ආදී ගැටලුවලින් මතුවන බලපෑමද අවමය. මහා තාක්‍ෂණික ක්‍රමවේද නැත. නමුත් අප එවැන්නක්‌ වෙත හෝ යොමුවීමක්‌ද නැත.

තාක්‍ෂණික නිර්මාණයක්‌ යනු බටහිර රටවල් හෝ ජපනා හෝ ජපනාගේ පූර්ණ හැකියාවක්‌ ලෙසින් සිතුවහොත් හැමදාම අපට මැදපෙරදිග වහලා ලෙසින් හෝ, ඇඳුමකට බොත්තමක්‌ සවිකර, මූට්‌ටුවක්‌ දමන රටක්‌ ලෙසින් හෝ පොළොවේ සාරයෙන් යෑපෙන රටක්‌ ලෙසින් පමණක්‌ හිඳින්නට සිදුවනු ඇත.

තාක්‍ෂණික නිර්මාණ පිළිබඳ මානසික බැම්ම බිඳ දමා ඉදිරියට ගිය චීනය අද නිල නොවන මහා බලවතාය. ඉරානය කිසිදු බලපෑමකට යටත් නොවී තමන්ගේ ගමනක්‌ යමින් සිටියි. කොරියාවද එසේමය. අසල්වැසි ඉන්දියාවද මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගනිමින් ක්‍රියා කරන බවක්‌ පෙනෙයි. 

අප මේ ප්‍රවේශය ලබා නොගන්නා තාක්‌, අපේ රටේ රබර් ටික අමු අමුවෙන්ම පිටරට පටවා ඒ රබර්වලින් තැනෙන සිංදු කියනා බෝනික්‌කාව මිලට ගෙන හුරතල් වන ජාතියක්‌ පමණක්‌ම වනු නියතය.

(ආචාර්ය ශාන්ත අමරසිංහ මහතාගේ ඊ මේල් ලිපිනය- shantha2u@gmail.com)

ප්‍රමාද දෝෂය -

ඉකුත් 10 වැනි ඉරිදා 'කොරියන් සිහිනයෙන් බෑ බෑ ගොඩයන්න' නැමැති ලිපියෙහි මහාචාර්ය අජිත් ඩී අල්විස්‌ ලෙසින් ආචාර්ය ශාන්ත අමරසිංහ මහතාගේ මෙහි පළව ඇති ඡායාරූපය පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි.


ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
ඡායාරූප - නිමල් දයාරත්න

1 comment:

  1. ඔවා මේ මේ රටට බයිලා.. ඕවා වගේද ණයට ගත්තු හයිවේ වල යනකොට.. නැවු එන්නෙ නැති වරායවල් නඩත්තු කරනකොට.. ඇයි දෙයියනේ මත්තල ජාත්‍යන්තර ගුවං තොටුපොල.. ඔන්න සංවර්ධනේ.. අපිට ඔය විද්‍යාගාර වැඩක් නැ.. :D :D

    ReplyDelete