2015-12-01

මුන් මහා පිස්සෝ දොස්තර මහත්තයෝ. උන්ට ඕවා තේරෙන්නේ නෑ.

තම වාට්ටුවේ සියලු රෝගීන් බලා අවසානයේ දොස්තර මහතා වාට්ටුව ඉදිරිපිට අඹ ගස යට පිහිටි බංකුව මත වාඩි වී ගිමන් හරින්නට විය. මෙතෙක් අවුරැදු එක හමාරකට වැඩි කාලයක් මානසික රෝග වාට්ටුවේ වැඩ කළ දොස්තර මහතා සෑම දිනක ම පාහේ  තම රාජකාරි අවසානයේ මෙලෙස ටික වේලාවක් වාඩි වී සිටීම පුරැද්දක් කර ගෙන සිටියේ ය. 

දොස්තර මහතා මෙලෙස වාඩි වී සිටින බොහෝ අවස්තාවල වාට්ටුවේ සිටි එක්තරා පිස්සකු ඔහු ළගට ගොස් සුළු වේලාවක් දොඩමළු වීම පුරැද්දක් ව පැවතියේ ය. ඔහු නමින් දියේනිස් ය.

‘‘බලනවා දියේනිස්. වාහන මිල ඔන්න ආපහු වැඩි කළා මේ ආණ්ඩුවේ බජට් එකෙන්. පාරවල්වල වාහන වැඩි හින්දා වාහන පාරට දාන එක සීමා කරන්නලු එහෙම කළා කියන්නේ. ඒ මදිවට අපේ වෛද්‍යවරැන්ට දෙන වාහන පර්මිට් එකත් අවලංගු කරන්න යනවා ය කියන්නේ? ‘‘. යැයි දොස්තර මහතා දියේනිස්ට පැවසීය. 

‘‘ඔය ආණ්ඩු කවද්ද දොස්තර මහත්තයෝ හරි වැඩක් කළේ. හැම ආණ්ඩුවම ඔය වගේ පිස්සු වැඩ තමා කළේ. ඕකට විසදුම ඕක නෙමේ‘‘. දියේනිස් අහස දෙස බලා මහත් කල්පනාකාරී ව පැවසීය.

‘‘ඉතිං. එහෙනම් දියේනිස් හිතන විසදුම මොකද්ද පාරේ වාහන වැඩිවෙන එකට?‘‘ දොස්තර මහතා කුතුහලයෙන් දියේනිස් දෙස බලමින් ඇසීය.

‘‘කොළඹයි තව ලොකු නගර කීපයකයිනේ ඔය කියන ට්‍රැෆික් එක තියනවයි කියන්නේ. ඉතින් ඔක්කොම රජයේ ගොඩනැගිලි හදන්නෙයි,  සංවර්ධනය කරන්නේ ඔය නගරවල විතරනේ. එතකොට වාහන වැඩියෙන් එන එක අහන්නත් දෙයක් ද? ඉතින් කරන්න තියෙන්නේ ඔය සංවර්ධනය අනිත් නගරවලට ව්‍යාප්ත කරන එකනේ. එතකොට විසදුම ඉබේ ම ලැබෙනවා. මුන් මහ පිස්සෝ. මුන්ට ඕවා කියලා වැඩක් නැහැ දොස්තර මහත්තයෝ‘‘. දියේනිස් තරමක් ආවේගයෙන් පැවසීය. 

සුළු මොහොතක් දියේනිස්ගේ මුහුණ දෙස විශ්මයෙන් බලා සිටි දොස්තර මහතා ‘‘මම යනවා දියේනිස් යන්න දැන් වෙලාවත් හරි‘‘ යැයි පවසා දියේනිස්ගේ පිටට තට්ටුවක් දමා යන්නට ගියේ ය.

වලී. 2015 දෙසැ. 01



3 comments:

  1. ඒ පිස්සා හම්බ පිස්සෙක් මචෝ. සංවර්ධනය ව්‍යාප්ත කරලා නේන්නම් පළාත් සභා හැදුවේ. ඉතින් මොකද්ද වෙනස.

    ReplyDelete
  2. පිස්සු නැත්නම් ශෝක්... එහෙම කිව්වේ නැද්ද දොස්තර මහත්තයා..?

    ReplyDelete
  3. ඒකනෙ ඔය වගේ අදහස් ඇති අය ට ප්‍රතිකාර කරන්ට මානසික රෝහල් හදල තියෙන්නෙ. ප්‍රශ්න විසඳන එක හොඳ කළමනාකරණ උපක්‍රමයක් නෙවෙයි.

    ReplyDelete