2012-11-11

'මිනිසුන්ට ආදරය කළ උතුම්ම මිනිහා මගේ තාත්තායි' - ඔරුවල බන්දු ගැන දියණිය බන්දුලතා කියන කතාව




මගේ ආදරණීය තාත්තා 'ඔරුවල බන්දු' අප අතරින් වෙන්වී නොවැම්බර් මස 16 වැනි දිනට වසරක්‌ සපිරෙයි. තාත්තාගේ අභාවයෙන් පසුව විවිධ පුවත්පත්වල ඔහු පිළිබඳ පළවූ ලිපි ගණනාවක්‌ කියවන්නට ලැබිණි. සැමියකු, පියෙකු හා සීයා කෙනෙකු ලෙස ඔහු ගෙවූ ජීවිතය පිළිබඳව ඔහු වටා සිටි පාඨකයන්ට මේ මොහොතේ යමක්‌ ලිවිය යුතු යෑයි මම කල්පනා කළෙමි.

තාත්තාට අම්මා පළමුවරට ඇස ගැටී තිබුණේ හැට ගණන්වල අග භාගයේදී. ඔහු කුඩා කල හැදී වැඩුණු කල්එළිය නිවසේ පැවති අවමඟුල් උළෙලකදීය.

"මගේ ප්‍රේමණීය මාතෘ භූමියට මගෙන්ද ඉටුවිය යුතු සේවය නිසි ආකාර ඉටු කිරීමට නම්... එයට තල්ලුව දිය හැකි, හැකියාව ඇති ආසාව හා මාව තේරුම් ගත හැකි තවකෙකුගේ උපකාරය අවශ්‍යයි නේද? කලබල නොවන්න. හිතා බලන්න".

තාත්තා අම්මාට සිය පළමු ලිපිය ලීවේය.

ඒ තාත්තා රුසියාවේ සිට පැමිණ, පුවත්පත් සහ ගුවන් විදුලිය හරහා තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී සිටි කාලයයි. අම්මා ගුරු විද්‍යාල ශිෂ්‍යාවක වූවාය.

"ඔය ජනප්‍රිය අය බොරුවට කෙල්ලො අල්ලගන්න කරන වැඩ" අම්මා වචනයක්‌ දීමට මැලි වූවාය.

තාත්තා උත්සාහය අත්හළේ නැත. අම්මාගේ කැමැත්ත ලැබුණු දින ඔහු පිළිතුරු ලිපිය ලීවේ කවියෙනි.

"මපිය හිතවති පිළිතුරක්‌ දුන්

ලිපිය සැනසුම් සහනයක්‌ වී,

ලිවිය හැක සොම්නසින් මත්වී

කවිය නොව කවි දහක්‌ රොක්‌වී....

වසර කීපයක්‌ ගෙවී ගියේය. ඒ 1971 වර්ෂයයි. තාත්තා එවකට කොළඹ නාලන්දා විද්‍යාලයේ රුසියන් භාෂාව පිළිබඳ ගුරුවරයකු වශයෙන් සේවය කළේය.

අම්මාගේ ගෙවල් දොරවල් බැලීමට තාත්තාගේ තිලක අය්යා, පානදුරේ අක්‌කා සහ ඒ මස්‌සිනාත් පල්ලෙවෙලට පැමිණියහ.

"මෙයාට ගේ ළඟට පත්වීම ගන්න නම් විවාහ සහතිකේ ඉදිරිපත් කරන්න ඕනෑ. ඉල්ලුම් පත්‍ර දාන්න තියෙන්නෙ මේ 15 ට කලින්. ඒ නිසා අපි හෙට බඳිනවා. කවුරුත් එන්න අවශ්‍ය නෑ" තාත්තා කීවේය.

"අපි 'අ' යන්න කියන්න හදනකොට මේ දෙන්න අවසානෙත් අරන් ඉවරයිනෙ"

මල්ලීගේ හැටි දන්නා තිලක අය්යා පුදුම වූයේ නැත.

අයියාත් අක්‌කලාත් ඔවුන්ගේ නිවෙස්‌ බලා පිටත් වූහ. මේ ආරංචිය තාත්තාගේ අම්මාට තාත්තාට හෝ අනෙක්‌ සහෝදර සහෝදරියන් හය දෙනාට හෝ දැන්වීමට අද මෙන් දුරකථන පහසුකම් නොතිබුණ එදා ඔවුනට නොහැකි විය. අනෙක්‌ අතට "බන්දු මල්ලී ගෙදර ගිහින් කියයිනෙ" ඔවුන් සිතුවා විය හැකිය.

තාත්තා, සිය අම්මා, තාත්තා, අවිවාහකව සිටි ලොකු අක්‌කා සහ මල්ලි සමග පදිංචිව සිටි ඔරුවල මහ ගෙදර ගියේය. පසුදා උදෑසන මල්ලී සමග එකම බසයේ නැඟී අතුරුගිරියට එනතෙක්‌ පැමිණි තාත්තා ඔහුගෙන් සමු ගෙන පල්ලෙවෙල බලා පිටත් විය. අයියා යන්නේ ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීමට බව එකම මල්ලී දැන සිටියේ නැත. විවාහය ලියාපදිංචි කර මසක්‌ පමණ ගත විය.

"මඟුල් ගෙවල් අවශ්‍ය නෑ" තාත්තා කීවේය.

"ගැහැනු ළමයෙක්‌ නිකම්ම ගෙදරින් එළියට දෙන්න බෑනෙ" අපි පොඩියට උත්සවයක්‌ ගනිමු".

අම්මාගේ පාර්ශ්වයේ යෝජනාවට තාත්තාට එකඟ වන්නට සිදු විය.

"මම මනමාලියක්‌ ගෙනෙනවා. එන්න අවශ්‍ය නෑ දැනුම් දෙන්නයි ලිව්වේ.

තාත්තා සිය සහෝදර සහෝදරියන්ට තැපල්පත් යෑව්වේය.

"බලන්න නංගි, මල්ලී අපට මඟුල් කියල තියෙන හැටි මිනිහගෙ හැටි දන්න හින්ද අපි ආවා"

අක්‌කලා අම්මා සමග මැසිවිලි නැඟූහ.

දෙපාර්ශ්වයේ ළඟම ඥතීන් පමණක්‌ සහභාගි වූ කුඩා සාදය සංවිධානය කර තිබුණේ ගම්පහ තානායමේය. අම්මා තනිවම චාම් ඔසරියකින් සැරසුණාය. ඇගේ අම්මාගේ බල කිරීමට කුඩා තැල්ලක්‌ පමණක්‌ හිස පැළඳ ගන්නට අම්මාට සිදු විය.

තාත්තා සිය දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමග ඔරුවලින් පිටත් වී ඇත.

"මල්ලී, මනමාලිගෙ මල් පොකුර"

තානායමට එන අතරමඟදී අක්‌කලා මතක්‌ කළහ.

"ආ ඒක තව ඉස්‌සරහ තැනකට හදන්න දීලා තියෙන්නෙ. තාත්තාගේ පිළිතුර විය.

''මල්ලී මල් පොකුර" අක්‌කලා යළිත් විමසූහ.

"මල් පොකුර නැතිව එයාට මා එක්‌ක එන්න බෑ. කිව්වොත් බලා ගනිමුකෝ" කී තාත්තා තානායමට ඇතුළු විය.

ජයමංගල ගාථා, මංගල පෝරු මංගල ඡායාරූප කිසිවක්‌ නොමැතිව පැවැති සාදය අවසානයේ දෙදෙනා මධු සමය සඳහා හංවැල්ල තානායම බලා පිටත් වන්නට සූදානම් වූහ.

"නංගී, මල්ලි එපා කීව නිසා අපි තවම කැවුම් ගෙඩියක්‌වත් ඉව්වෙ නෑ. ඔයා දන්නවනෙ එයාගේ හැටි. මේ ගමන්ම ගෙදර එන්නත් බැරි නෑ. අනේ අද ගෙදර එන්න හැදුවොත් ඔයා බෑ කියන්න". අක්‌කලා අම්මා වට කර ගත්හ.

වාහනයට ගොඩ වූ තාත්තා. අම්මාගේ හිස පැළඳි තැල්ල දෙස බලා "ඔයාගෙ ඔය ඔළුවෙ ගහල තියෙන එක නිසා පාරෙ යන මිනිස්‌සු මං දිහාත් බලනවා. බැරිද ඕක ගලව ගන්නැ"යි ඇසුවේය.

අම්මා තැල්ල ගලවා අත්බෑගයේ දමා ගත්තාය. පසුදා උදැසන වනවිට කැලණි ගඟ පිටාර ගලා හංවැල්ල නගරය යට වෙමින් තිබිණි.

"මහත්තයා දැන්ම පිටත් වුණොත් නම් ගෙදර යන්න පුළුවන් වෙයි" තානායමෙන් උපදෙස්‌ ලැබිණි.

මධුසමය අතර මග නවතා දෙදෙනා වහා ඔරුවල ගෙදර බලා පිටත් වූහ.

අක්‌කලා කැවුම් පිසිති. අම්මා දුව ගොස්‌ කොහේ දොa තිබූ රන් මාලයක්‌ ගෙනැවිත් කරට දමා අලුත් ලේලිය පිළිගත්තාය. ඇඳුම් බෑගය අතට ගත් තාත්තා කුලී රියෙන් බැස කෙළින්ම ගොස්‌ ඔහුගේ කාමරයට වැදුණි. තනිවම නැන්දම්මාට, මාමාට සහ නෑනලා මස්‌සිනාලාට ආචාර කරන්නට අම්මාට සිදු විය.

විවාහයෙන් පසු තාත්තා අම්මාත් සමග පල්ලෙවෙල අම්මාගේ ගෙදර පදිංචියට ආවේය. එහේ නිසංසල පරිසරය ඔහුගේ ලේඛන කටයුතුවලට කදිම තෝතැන්නක්‌ විය. අම්මා නිවසේ බර කරට ගත්තාය. නිවසට පැමිණි යමෙකු "බන්දු කෝ වෙඩින් ෆොටෝ" යෑයි ඇසූ විට කුඩා මා වඩා ගන්නා තාත්තා මේ තියෙන්නේ ගහපු ෆොටෝ" එක යෑයි කීවේය. තාත්තාට කැලණි සරසවියේ රුසියන් භාෂාව පිළිබඳව කථිකාචාර්ය පදවිය ලැබුණේ මේ සමයේය.

තාත්තා නැකත් විශ්වාස නොකළේය. කුඩා මට නැකතට බත් කවාවි යෑයි සැක කළ තාත්තා දිනක්‌ සවස වැඩ ඇරී පැමිණ බත් කමින් සිටියදී ඔහු අසල ගැවසෙමින් සිටි මට පළමු වරට හීල්බත් කැව්වේය.

මටත් නංගීටත් හඳහන් නැත. නැකතට අකුරු කියවා නැත. "හඳහනක්‌ නැතිව මේ කෙල්ලො දෙන්නා කාටවත් දෙන්නෙ කොහොම"දැයි නෑදැයන් අසන විට "මං වගේ හිතන තව එක මිනිහෙක්‌ හරි මේ රටේ ඉඳීවි" යන්න ඔහුගේ පිළිතුර විය.

වෙනත් තාත්තලා මෙන් ඔහු අපව තුරුළු කරගෙන සුරතල් කළේ නැත. නෑව්වේ, ඇඳුම් ඇන්දුවේ, කැව්වේ හෝ නිදි කෙරෙව්වේ නැත. කලාතුරකින් දිනක අපව වඩාගෙන නිවස ඉදිරිපිට පාරේ එහෙ මෙහෙ ඇවිද ගිය ඔහු, අප ඇඳුම්වල ජරා කරගත්විට එය ගලවා පඳුරක්‌ අයිනට විසිකර ගෙදර පැමිණ "මෙන්න මෙයාව හෝදලා ගන්නැ"යි අම්මාට භාර දුන්නේය. ඔහුගේ ලෝකය පොත් පත් බව වටහාගෙන සිටි අම්මා සියල්ල පහන් සිතින් ඉවසුවාය.

මේ තියෙන රුසියන් පොත්වලින් කවුරුහරි වැඩක්‌ ගන්න ඕනෑ. තාත්තා මට රුසියන් හෝඩිය උගන්වන්නට පටන් ගත්තේය. එහෙත් මට එය ප්‍රිය නොවිණි.

"ළමයින්ට එයාල කැමැති දේවල් කරන්න ඉඩ දෙන්න ඕනෑ. එතකොට තමයි හරියන්නෙ" රුසියන් භාෂාව ඉගෙන ගැනීමට ඔහු මටත් නංගීටත් බල කළේ නැත.

ඔයාලා දෙන්න හොඳට ඉගෙන ගෙන හොඳ රස්‌සාවල් සොයා ගන්න ඕනේ. දැන හැඳුනුම්කම් තිබුනට ඔයාලට රස්‌සාවල් ඉල්ලාගෙන මම ඔය කිසිම දේශපාලකයෙක්‌ පස්‌සෙ යන්නේ නෑ" ඔහුගේ අවවාදය විය.

මා අසූ ගණන්වල අග භීෂණ සමයේ උසස්‌ පෙළ සඳහා ජීව විද්‍යා විෂය තෝරාගත් විට තාත්තා මෙසේ ලීවේය.

"විද්‍යා උසස්‌ පෙළ කරමින් උනන්දුවේ 

මගේ ලොකු දොaණි යා යුතු හරි ගමන් යෑවේ

රැකියා කියන්නේ ඕනැම දෙයක්‌ නොවේ

වෙදකම හො¹ ලොව සුවපත් කරන් දුවේ



දුව දෙන විටදී ජනතාවට ඔසු දොaත

දෙනු ඇත තාත්තා මොළ තුළටම බේත

කළ යුතු දෙය මෙයයි යුගයේ මරු භීත

රෝහල වෙතට කැඳවමු මඳනල සීත"

මා කැලණිය වෛද්‍ය පීඨයට තේරී ඇති බව ඇසූ තාත්තා වහා ඔහුගේ හිතවතකු වූ එවකට පීඨාධිපතිව සිටි කාලෝ පොන්සේකා මහතා හමුවන්නට ගියේය.

"මගේ කෙල්ල ඔබතුමා ළඟට එනවා. එයාව හොඳට බලා ගන්න ඕනෑ" තාත්තා කියා තිබිණි. එහෙත් ඉන් පසුව මා වෛද්‍ය පීඨයෙන් පිටවන තුරුම තාත්තා කිසි දිනක, කිසිම හේතුවකට එහි ආවේ නැත. ඒ ඔහුගේ හැටිය.

නංගී උසස්‌ පෙළට කලා විෂයන් තෝරා ගත් විට තාත්තා සතුටු විය.

"ඔයාට විශ්වවිද්‍යාලෙට ගිහින් භාෂා කරන්න පුළුවන්" පොඩි දුව ඔහුගේ අඩි පාරේÊයනු ඇතැයි තාත්තා සිතන්නට ඇත. නමුත් ඇයට නීති පීඨයට ඇතුළුවීමට ප්‍රමාණවත් ලකුණු ලැබුණු විට "ඔයා නීතිය හදාරන්න ලැබුණ අවස්‌ථාව අත හරින්න එපා. නැති බැරි පොඩි මිනිහට උදව් කරන්න". තාත්තා උපේක්‍ෂා සහගත විය.

ඇස්‌දෙක වගේ දෙන්නා මිස ගොඩක්‌ නැහැ

අවවාදයකි පිළිගනු ඇත සැකක්‌ නැහැ

මොනවා ඉගෙන ගත්තත් මට කමක්‌ නැහැ

මිනිස්‌ කමක්‌ නැත්නම් කිසි වැඩක්‌ නැහැ

ඔහු ලියා තැබුවේය.

"අපි ඔයාල දෙන්නට මනමාලයො හොයන්නෙ නෑ. ජීවිත කාලෙටම එකට ඉන්න පුළුවන් කා එක්‌කද කියල තමනුයි තීරණය කරන්න ඕනෑ. ඒ හින්දා ඔයාලට ගැලපෙන කෙනෙක්‌ හොයා ගන්න හැබැයි උසස්‌ පෙළ පාස්‌වෙලා විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ".

අපගේ විවාහ සම්බන්ධයෙන් තාත්තාගේ අදහස එය විය. කියන්නට තිබෙන දේ තැන නොතැන නොබලා කෙනෙකුගේ මූණටම කීම තාත්තාගේ සිරිත විය. මේ හේතුව නිසා ඔහු සමග අමනාප වූ පිරිස බොහෝය. "මිනිස්‌සුන්ට ඔහොම මූණටම වචන කියන්න එපා" යෑයි අම්මා කී විට "කියන්න තියෙන දේ මූණටම නොකියා තැන තැන කියල වැඩක්‌ තියෙනවාදැ"යි ඔහු ඇසුවේය.

2005 වසර වන විට හැත්තෑ වැනි වියට එළැඹ සිටි තාත්තා සිතින් ශක්‌තිමත් වුව ද ගතින් දුබලව සිටියේය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගෙන සිටි ඔහු නිවසට වී කල්ගත කිරීම ප්‍රිය කළේය. නිවසට පැමිණෙන කවුරුන් හෝ වුවද අතින් අල්ලාගෙන පුස්‌තකාල කාමරයට කැඳවාගෙන ගොස්‌ අතීත විස්‌තර කීම ඔහුගේ එකම විනෝදාංශය විය.

අප කුඩා කලදී මෙන්ම තාත්තා ඔහුගේ මුණුපුරා හා මිණිබිරියන් දෙදෙනකු වඩාගෙන සුරතල් කළේ නැත. එහෙත් ඔවුන් වටකරගෙන කවි, කතාන්දර කීවේය. "මේ ළමයින්ට මහ පොළොව පෑගෙන්න ඕනෑ"යි කියා අතින් අල්ලාගෙන ගමේ පාර දිගේ ඇවිද ගියේය.

"බබා කවියක්‌ කියන්න බලන්න" යෑයි සීයා කී විට දරුවෝ ද වහා ඉදිරිපත් වී සීයාගේම කවියක්‌ කියා ඔහු සතුටු කරන්නට වග බලා ගත්හ.

"ටක්‌ක ටකට මක්‌ක ටා

ලී දෙක එකටෙක ගටා

චුට්‌ටො පෙළක්‌ නට නටා

කැරකෙති බෙරකරු වටා"

තාත්තා යටැසින් අප දෙස බලමින් සිනා සුණේය.

"එළඹෙන වටදී අවදිය පොත පත කියන

මේ කවි ලියූ සීයා ඇත්තේ කොතැන

මට නැති නමුදු පරලොව හැම දෙන පතන

නුඹ හට ඇසේ මගෙ නම සමහරු කියන"

ඔහු ලීවේය.

කවර හෝ දරුවකු විභාගයක්‌ ඉහළින් සමත් වූ බව ඇසූ විට තාත්තා හදවතින්ම සතුටු වූවේය.

"ඉගෙන ගන්න, ඉගෙන ගන්න වැඩි වැඩියෙන් ඉගෙන ගන්න"

රුසියන් කියමනක සිංහල පරිවර්තනය නිතර ඔහුගේ මුවග රැඳී තිබුණි. නිවසට පැමිණෙන දරුවන්ට අත්සන යොදා ඔහු ලියූ පොතක්‌ තිළිණ කිරීම තාත්තාගේ සිsරිත විය.

රටේ පැවැති දේශපාලනය ගැන තාත්තා බෙහෙවින් කලකිරී සිටියේය. ඔහු වසර ගණනාවක්‌ ඡන්ද පොළට ගියේ නැත. උන් ඔක්‌කොම එකයි" තාත්තාගේ අදහස විය.

යුද්ධය විජයග්‍රහණය කරා ළඟා වන විට තාත්තාගේ මාතෘකාව එය පමණක්‌ම විය. පුවත්පත් කියවීමට අමතරව සවස 6.30 ට දෙමළ ප්‍රවෘත්ති විකාශයෙන් පටන්ගෙන රාත්‍රි 10.00 වනතුරු සියලුම රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්ති විකාශ නැරඹූ තාත්තා "දිවයින" "ජනහමුවට ලියූ කවි"වල වස්‌තු බීජ සෙව්වේය.

අපෝ! කවි සීයලගෙ ගෙදර යන්න බෑ. ප්‍රවෘත්ති බලලා එපා වෙනවා" මගේ පොඩි අය මැසිවිලි නැඟුහ.

දේශපාලනය එපා වී සිටි තාත්තාට යුද ජයග්‍රහණයෙන් පසු එළැඹි ජනාධිපතිවරණය ගැන මහත් උනන්දුවක්‌ තිබිණි. ඡන්දය ළං වත්ම "ලොක්‌කී ඡන්දය දෙන්න ගෙදර එනවා නේදැ"යි කීප විටක්‌ම මට දුරකථනයෙන්ද මතක්‌ කළේය. ජනාධිපතිවරණය පැවැති දින උදෑසනින්ම හැරමිටි වාරුවෙන් ඡන්දපොළට ගිය තාත්තා මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අන් කිසිවක්‌ නිසා නොව උපන් රට ගැන ඔහු තුළ වූ අසීමිත ආදරය නිසාමය.

විටින් විට අසනීප වූ තාත්තාගේ විශේෂඥ වෛද්‍යවරයා වූයේ වෛද්‍ය අනුරාධ දසනායක මහතාය. වෛද්‍යවරුන් වෙත යැම තාත්තාට ප්‍රිය නොවුණි. "මට ඇති ලෙඩක්‌ නෑ" ඔහු හැම විටම කීවේය.

මා මුල් වරට තාත්තා කැටුව වෛද්‍ය අනුරාධ වෙත ගිය දින රෝහණ විඡේවීර තාත්තා සමග ලුමුම්බාවේ එකට ඉගෙන ගත් බව දැන සිටි එතුමා තාත්තාගේ සුදු වූ කොණ්‌ඩය හා දිගට වවා තිබුණු සුදු රැවුල දෙස මොහොතක්‌ බලා සිට "විඡේවීරත්a ජීවතුන් අතර සිටියා නම් අද මේ වගේ ඉඳිවී නේ දැයි කීවේය. තාත්තා වෛද්‍ය අනුරාධ ගැන මහත්සේ පැහැදුණේය. ලෙඩ ගැන විමසීම තාත්තා නො ඉවසන බව දන්නා එතුමා ඉන්පසු සෑම හමුවකදීම තාත්තා සමග රටතොට සහ දේශපාලනය ගැන පමණක්‌ කථා කළේය. ලෙඩ ගැන විමසුවේ තාත්තා මගහැර මගෙන් පමණි.

අම්මා ළඟ නොමැතිව පැය කීපයක්‌ හෝ ගෙවීමට තාත්තා අකැමැති විය. ඔහු අම්මා ඇමතුවේ බිසවුන් වහන්සේ කියාය. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගොස්‌ සිටි අම්මා, තාත්තා පළමු ලිපියෙන් ඉල්ලා සිටි පරිදිම ඔහුගේ සියලු ආවතේව කරමින් ද කොතෙක්‌ ගතින් දුබල වුවද අත් නොහළ ලේඛන කටයුතුවලට අතහිත දෙමින්ද වසර ගණනාවක්‌ නිවාස අඩස්‌සියේ පසු වූවාය.

"ලොක්‌කී, ඔයාලගෙ අම්ම දෙවි කෙනෙක්‌" තාත්තා කීප විටක්‌ම මා හා පැවසුවේය.

පසුගිය නොවැම්බර් 15 වැනි දින උදයේ දුරකථනයෙන් මා ඇමතූ අම්මා, තාත්තා හුස්‌ම ගැනීමේ අපහසුවකින් පෙළෙන බව දැනුම් දුන්නාය. තාත්තා බැලීමට ගිය මම ඔහු රෝහල්ගත කළ යුතු බව තීරණය කළෙමි. මහත් අපහසුවෙන් සිටිය ද ඔහු තනිවම සුපුරුදු සරම හා අත්කොට කමිසයෙන් සැරසුණේය. වාහනයට නඟින්නට හැරමිටි වාරුවෙන් නිවසේ ඉදිරිපසට ඇවිද ආ තාත්තා ඔහුගේ පුස්‌තකාල කාමරයේ උළුවස්‌සට දැත් තබාගෙන නිහඬව බොහෝ වේලාවක්‌ පොත් රාක්‌ක දෙස බලා සිටියේය. ඒ ඔහු මෙලොව දමා යන්නට ලොබ කළ එකම වස්‌තුවයි.

සිරුර යන්ත්‍රයකට සම්බන්ධ කොට ඔක්‌සිජන් ලබා දී රෝහල් ඇඳ මත වැතිර සිටියදී මා ඇමතූ තාත්තා, "ලොක්‌කී කොහොමහරි මාව බේරගන්න. මට තව පොත් දෙකතුනක්‌ ලියන්න තියෙනවා" යෑයි කීවේය.

එහෙත්.... ඔහුගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට මට හැකියාවක්‌ ලැබුණේ නැත.

බන්දුලතා සේනාධීර                                                                       උපුටා ගැනීම - දිවයින 

1 comment:

  1. මහපොළොවේ ජීවත් වෙච්ච මිනිහෙක්. මේ මිනිස්සු මැරෙන්නෙ නෑ.

    ReplyDelete