2012-04-02

ශ‍්‍රී පාදය කරුණා කළෙමු


         
අප රත්නපුරයට ළඟා වන විට දහවල් 1 පමණ වන්නට ඇත. අප කිහිප දෙනකු මෙම ගමනට එක් වූ අතර, උදෑසන ආහාරය ද නිසි පරිදි ලබා ගත නොහැකි වූ නිසා මුළින් ම හෝටලයකට ගොස් කෑම කා යන්නට අප තීරණය කළෙමු. කෑම කා අහවර වූ පසු ඉතා ඉක්මණින් බස්නැවතුම්පලේ ශ‍්‍රීපාදය ආසන්නයට දිවෙන ‘සිරිපාගම’ බස් රථය සොයා ගියෙමු. හවස 2ට රත්නපුරයෙන් බසය සිරිපාගම දක්වා ගමන් ආරම්භ කළ අතර එහි ගාස්තුව රු. 60ක පමණ ගණනක් විය. පැය එකහමාරක පමණ ගමණකින් පසුව බස් රථය සිරිපාද කඳු මුදුන ආරම්භ වන සිරිපාගම දක්වා පැමිණීමට හැකිවිය.
           සිරිපාගමට පැමිණි අප මුළින් ම සිදු කළේ ඒ අසළ තිබෙන ගඟට ගොස් නා ගැනීම ය. එම  ප‍්‍රදේශයට කාලෙකින් වැසි වැටී නොතිබූ නිසා ගෙඟ් වතුර ඉතාම අඩු මට්ටමක පැවතිණි. ගල්වැටිවලින් පිරී තිබූ ගෙඟ් ගල්වැටි අතර තිබූ කුඩා වතුර වලකින් නෑමට අපට සිදු වූ අතර, එහි සිටි මාළුන්ගෙන් කකුල් බේරා ගැනීමට අපට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදු විය.

           නෑමෙන් පසු අප ඒ අසළ පැවති කඩවලට ගොස් ගමන් කිරීමේ දී ආහාරයට ගැනීමට අවශ්‍ය බිස්කට්, වඬේ, බීම ආදිය මිල දී ගත්තේ කඳු මුඳුනට වන්නට අහාර මිල ඉතා අධික යැයි කල්තියා දැන සිටි බැවිණි. කඳු පාමුල ඇඳුම්, ආහාර, සෙල්ලම් බඩු වැනි කඩ රාශියක් තිබූ අතර ඒවා සීසන් එකට පමණක් දමන කඩ බව ඒ කඩයක සිටි මුදලාලි කෙනෙක් අප සමග පැවසී ය.
           හවස 4.30ට පමණ ශ‍්‍රීපාදයට නැගීම ආරම්භ කළ අතර, මීටර් 100, 200, 300 බැගින් අප ටිකෙන් ටික පඩි පෙළ තරණය කරන්නට වුවෙමු. දැඩි අව්රශ්මිය මුහුණු සිසිරා ගිය නිසා ඉන් බේරීමට අප සෙවණ ඇති තැන්වල නැවතෙමින් ගමන් කළෙමු. එදින උදෑසන කාලයේ ශ‍්‍රී පාද මළුවෙන් පිටත් ව රත්නපුර මාර්ගය ඔස්සේ බිමට බැසීමට ආ අය ඒකා දෙන්නා පහළට බසිමින් සිටිනවා අපට මුණ ගැසුණි. ඊට පෙර දින සෙනසුරාදා දිනයක් වූ නිසා දෙතුන් සීයක පමණ විශාල පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාදයට පැමිණි බව මාර්ගය අයිනේ තේ කඩයක් පවත්වාගෙන ගිය අයකු අප සමග පැවසී ය. සාමාන්‍ය සතියේ දිනවල 50-100කට අධික පිරිසක් මේ මාර්ගය ඔස්සේ ශ‍්‍රී පාදය කරුණා කරන බවත් නිවාඩු දිනවල එම පිරිස වැඩි වන බවත් ඔහු අප සමග කීය.
පහළට බසිමින් සිටි අය ගැහැනු පිරිමි භෙදයක් නොමැතිව සියලූ දෙනාම ඉතා අපහසුවෙන්, කෙඳිරිගාමින්,  නොන්ඩි ගසමින්, පැමිණෙන ආකාරය අපට දිස් විය. සමහරුන් හැරමිටියක් ආකාරයට ලීයක් ගෙන අපහසුවෙන් පඩි පෙළ බසිමින් සිටි අතර තවත් අය පැමිණියේ වෙනත් අයගේ කරේ එල්ලෙමින් ඔවුන්ගේ ආධාරයෙනි. තරුණ හැඩි දැඩි පිරිමි පවා පැමිණියේ දැඩි අපහසුවකින් බව අපට දැක ගැනීමට ලැබිණි. ඒ අතරේ මත්පැන් බී ඇති බවට සැක කළ හැකි, කෑකෝ ගසමින් බෙර ගසමින් පැමිණි පිරිසක් ද අපට හමුවිණි.
           ටිකෙන් ටික ගමන දුෂ්කර බැව් අපට ද පෙනී ගිය අතර මාර්ගයේ නැවතෙමින්, අසළ කඩවලට ගොස් තේ එකක්, බෙලිමල් එකක් බොමින් ගමන් කළෙමු. රාත‍්‍රී 7-8 පමණ වන විට අපට කිලෝ මීටර් 5ක පමණ දුරක් ඉතාම දැඩි අපහසුතා මධ්‍යයයේ පැමිණීමට හැකි වූ අතර තවත් ඇත්තේ අවාට වඩා අඩු දුරක් බව සිතීමෙන් අප තෘප්තිමත් වූ අතර, දුර ප‍්‍රමාණය පඩි පෙළ දිගේ මීටර් 100න් 100ට ලකුණු කර තිබූ බැවින් අපට දුර ප‍්‍රමාණය නිවැරදි ව නිෂ්චිත කර ගත හැකි විය. නමුත් අපගේ ඒ තෘප්තිමත් භාවය දුහුවිල්ලක් බවට පත් කරන සිද්ධියක් වූයේ අසළ කඩයක මුදලාලි කෙනෙක් අප සමග කී දෙය නිසා ය. එනම් අප ඇත්තටම මෙතෙක් පැමිණ ඇත්තේ කිලෝමීටර් 3ට මදක් වැඩි ප‍්‍රමාණයක් බවත්, තවත් කිලෝමීටර් 6ට වැඩි ප‍්‍රමාණයක් ගමන් කළ යුතු බවත් පඩි පෙළ දිගේ සටහන් කර ඇත්තේ මීටර් ගණන නොව පඩි ගණන බවත්, මීටර් ප‍්‍රමාණය සඳහන් කර ඇත්තේ පඩි පෙළ දිගේ ඇති ලයිට් කණුවල බවත් තව දුරටත් ඔහු අප සමග පැවසීය.


            රාත‍්‍රී 9 පමණ වන විට මාර්ගයේ වෙනත් කිසිවකු අපට හමු නොවූ අතර, අපට ඉදිරියෙන් නඩ කිහිපයක් ගමන් කළ බව කඩවල සිටින අයගෙන් දැන ගන්නට ලැබිණි. අතරින් පතර හමුදා කෑම්ප් පිහිටුවා තිබූ අතර ඔවුන් මේ දිනවල මාර්ගයේ පඩි පේළි සකසමින් සිටින බව දැනගත හැකිවිය.
           එක් අවස්ථාවක අප කිසිසේත් ම නොසිතූ දෙයක් සිද්ධ වූණි. අප ගමන් කළ පඩි පෙළෙහි විෂඝෝර සර්පයෙකි. ඒ අසළ ලයිට් කණුවක් තිබූ බැවින් කල්තියාම ඌව හොඳින් දර්ශණය වූ නිසා සිද්ධ වීමට ගිය විශාල අනතුරකින් බේරීමට අපට හැකි විය. ඌ දඟර ගසමින් පඩි පෙළින් ඈත් වීමට උත්සාහ කළ අතර, මහත් පරිශ‍්‍රමයකින් පසුව, අපේ ගමන් මාර්ගයෙන් පිටතට යාමට ඌ සමත් විය.

            මධ්‍යම රාත‍්‍රිය ළං වන විට අප දැඩි ලෙස හෙම්බත් ව සිටි අතර, ගමනේ දුෂ්කර භාවය අපට දැඩිව දැනෙමින් තිබිණි. දණහිස ආශ‍්‍රිත ව දැඩි ලෙස රිදුම් දුන් අතර තවත් අඩියක් හෝ ඉහළට නැගීමට නොහැකි ව අප පඩිය මත ම හිඳ ගත් අවස්ථා මෙපමණ යැයි සඳහන් කළ නොහැක. කෙසේ හෝ ගමන යා යුතු නිසා නැගී සිට අප නැවත ගමන් කළ අතර පඩිපෙළ දෙපස අත්වැල් ඇති තැන්වල එයට අතින් බර දී ගමන් කිරීමෙන් යම් තරමක ඉස්පාසුවක් ලැබිණි.
           ශ‍්‍රීපාද කඳු මුදුණට සැතපුම් එකහමාරකට පමණ ළං වන විට අප මෙතෙක් පැමිණි මාර්ගය වගේ ම තවත් මාර්ගයක් හමු වුණ අතර, එය කුරුවිට සිට ශ‍්‍රීපාද කන්ද දක්වා දිවෙන මාර්ගය බව දැන ගැනීමට ලැබිණි. මෙම මංසන්ධිය තරමක තැනිතලා බිමක් වන අතර විශාල විශ‍්‍රාම ශාලාවක් සහ එහි නිදා ගැනීමේ පහසුකම් බැතිමතුන්ට සළසා ඇත.
මෙතැන් පටන් ශ‍්‍රී පාද කඳු මුඳුන දක්වා ඇත්තේ ඉතා අපහසු මාර්ගයක් බව පෙනී ගියේ ඝෘජු ව අහස දෙසට මාර්ගය වැටී තිබු බැවිණි. පහළ සිට ඉහළ බලන විට ලයිට් කණුවලින් පාර ආලෝකමත් වී තිබූ නිසා මාර්ගය කඳු මුදුන දක්වා වැටී ඇති ආකාරය දුර සිටම දර්ශණය කර ගත හැකිවිය. මෙම කොටස ඉතා ම අපහසුවෙන් අප ගමන් කළ අතර කඳු මුදුණට ළං වන්නට ළං වන්නට පඩි පෙළ තරණය කිරීම ඉතා ම අපහසු වූයේ පඩි ඝෘජු ව ඉහළට පිහිටා තිබූ බැවින් සහ පැවති දැඩි ගමන් මහන්සිය නිසා ය. අවසානයේ දැඩි පරිශ‍්‍රමයකින් අනතුරුව පාන්දර 1.20 පමණ වන විට අප ශ‍්‍රීපාද මළුවට පැමිණීමට හැකි වූ අතර, තවත් එක් අඩියක් හෝ ඉහළට නැගීමට තිබුණා නම් එය කළ නොහැකි බව අප වටහාගෙන සිටියෙමු.
           ශ‍්‍රීපාද මළුවෙහි ඉතා විශාල පිරිසක් රැඳී සිටි අතර දැඩි ශීතලෙන් බේරිමට ඔවූහු ජර්සි ඇඳගෙන අත්මේස් පැළඳ ගෙන සිටියහ. ගමන් මහන්සිය හා දහඩිය නිසා එකවරම අපට ශීතල නොදැනුණු නමුත්, ටික වේලාවක් යන විට දැනෙන්ට වූ දැඩි ශීතල හා කකුල් රිඳුම් දීම නිසා අප දැඩි අපහසුවට පත් වූ අතර, ශීතලෙන් බේරීම සඳහා උඩ මළුවේ ඇති විශ‍්‍රාම ශාලා දෙකේ ඉඩක් සොයා ගැනීමට වෙහෙසුණි. එහෙත් එය ද අපහසු වූයේ එවා අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගොස් තිබූ බැවිණි.
           ඉහළ මළුවේ සිදු කරන ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව අප ටික වෙලාවක් ඉහළ රැඳී සිටීමෙන් පසු පාන්දර 4.20ට පමණ නැවත පහළට බැසීම ආරම්භ කළෙමු. කළින් යොදාගත් පරිදි පහළට අප බැසීමට අප යොදා ගත්තේ හැටන් දෙසට ඇති මාර්ගය යි. අලූයම් කාලය බැවින් දැඩි ශීතල මැද්දේ ම අප ඝෘජු ව ම පහළට ඇති මාර්ගය ඔස්සේ පහළට බසින්නට වූයෙමු. අප ශ‍්‍රීපාදය තරණය කළ රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් දෙසට දිවෙන මෙම මාර්ගයෙන් විශාල පිරිසක් ගමන් කරන බවක් දක්නට ලැබිණි. ඉහළට වන්නට ඇති අපහසු ප‍්‍රදේශයේ අධික ලෙස බැතිමතුන්ගෙන් පිරී ඇති බැවින් දැඩි ලෙස වංගු තිබූ තැන්වල අපට ඉදිරියට යාමට සිදු වූයේ සෙමින් සෙමින් පෝළිමේ සිටිමිනි. විදේශිකයන් ද ඉතා විශාල වශයෙන් ශ‍්‍රී පාදය කරුණා කරන ආකාරය දක්නට ලැබිණි. වයස් භේදයක් නොමැති ව සෑම අයෙක් ම කන්ද තරණය කිරීමේ දී දැඩි ලෙස අපහසුතාවයට පත් වී ඇත. ඇතැම් කණ්ඩායම් තව දුරටත් ඉහළට යා ගත නොහැකි ව පඩි පේළි මත වාඩි වී සිටි ආකාරය අප පහළට එන විට දක්නට ලැබිණි.
           කෙසේ වෙතත් රත්නපුර මාර්ගය මෙන් නොව හැටන් මාර්ගයේ ගමන් කිරීම අපහසු නොවන බව අපට වැටහී ගිය අතර, එළිය වැටෙන්නට ආසන්න වන විට අපට ශීත ගඟුල ප‍්‍රදේශය වෙත එන්නට හැකි විණි. මේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත මාර්ගය මෙතනින් අවසන් වන අතර, මින් පසුව ඇත්තේ සාමාන්‍ය බෑවුමක් සහිත පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයකි. එබැවින් ඉතා පහසුවෙන් පහළට ගමන් කළ අප හට පැය තුන හමාරක් පමණ ඇතුළත බිමට බැසීමට හැකි විණි.
            තේවතු මැදින් වැටී තිබූ මේ මාර්ගය ඉතා ආකර්ශණීය මාර්ගයකි. ඉතා විශාල පිරිසක් ගමන් කරන බැවින් මාර්ගය දෙපස කඩවල් විශාල ප‍්‍රමාණයක් ඇත. පහළ ප‍්‍රදේශයේ සිටින දොදොල් වෙළෙන්දන්ගෙන් නම් බැතිමතුන්ට එල්ල වන්නේ දැඩි අපහසුවකි. කෙසේ හෝ තම නිෂ්පාදන විකුණා ගැනීමට ඔවුන් මාර්ගයේ ගමන් ගන්නා අයව තමන්ගේ කඩවලට ගෙන්වා ගැනීමට තරඟයට මෙන් පොර කති.
           මෙම ගමනේ දී අප දුටු අවාසනාවන්ත සිද්ධිය විය. එනම් එක් අවස්ථාවක කන්දේ මැද හරියට වන්නට මාර්ගය අයිනේ පාත්තරයක් දෙඅතට ගත්, බොහොම සංසුන් ලීලාවෙන්, භාවනා යෝගීව වැඩ වසන මෙන් පෙණෙන භික්ෂූ නමකි. අපට දිස් වූයේ උන් වහන්සේ ශ‍්‍රී පාදය කරුණා කිරීමට යන බැතිමතුන් විසින් බොහොම ශ‍්‍රද්ධාවෙන් ලබාදෙන දාන වේලක් ලබා ගන්නවා වෙනුවට පාත්තරයට මුදල් ලබා ගැනීමේ ක‍්‍රියාවකි. මාර්ගයේ ගමන් ගන්නා වූ සෑම දෙනාම පාහේ එම භික්ෂූවගේ පාත්තරයට කීයක් හෝ දමා යනවා දක්නට ලැබිණි. එහිදී ගමන් කළ විදේශිකයෙක් වෙතට ම ගොස් මුදල් ලබා ගන්නා ආකාරය අපට දක්නට ලැබීමට තරම් අපි අවාසනාවන්ත වූයෙමු.
           තවත් අවස්ථාවක මාර්ගය අයිනේ රැවුල වවාගත්, සිවුර දරා සිටි භාවනා යෝගියෙක් වැනි භික්ෂුවකි. කුඩා කුටියක් තනාගෙන පිරිත් නූල් බැඳීමේ කාර්යයයේ නිරත ව සිටියේ ය. අප සමග ගමන් කළ අයෙක් ද පිරිත් නූලක් බැඳ ගැනීමට එහි ගිය අතර, පිරිත් නූල බැඳීමෙන් පසු ඔහු අපසු හැරී එන්නට පිටත් වූ විට එම පුද්ගලයා ”මහත්තයා ආධාරයක් කරලා යන්න” යැයි හඩ නගා පැවසීය. ඒ අසළ ම ලොකු පෙට්ටයක් වැනි යමක් තබා තිබුනේ මුදල් එකු කිරීමේ පරමාර්ථයෙනි. මෙවැනි ක‍්‍රියා කරන්නන් වහා ම එම ස්ථානවලින් ඉවත් කිරීම බැතිමතුන්ට සිදු කරන සහනයක් වනු ඇත.
           අපට මෙහි දී අත්විඳින්නට ලැබූ අත්දැකීම් කිහිපයක් මේ ආකාරයෙන් සඳහන් කිරීම, ශ‍්‍රීපාදයට යාමට අදහස් කර සිටින අයට වැදගත් වේ යැයි සිතමි. එසේ ම ශ‍්‍රීපාදය කරුණා කරන විට ඉහළට වන්නට ආහාර ඇතුළු සියලූ දේ ම මිල ගණන් ඉතා ඉහළ වන අතර, අවශ්‍ය ආහාර වර්ග හැකි තරම් පහළින් රැගෙන යාම ඉතාමත් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේ ම කුඩා දරුවන් රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගන්නා අය අපට දැකීමට හැකි වූ අතර, එසේ රැගෙන යන්නේ නම් දෙවරක් සිතා බැලිය යුතු බව මතක් කරමි.

 (ශ‍්‍රී පාදයේ සිදු කළ සංචාරයකින් පසු)

5 comments:

  1. ඔබගේ ලිපිය සිරිපා වන්දනා කරන අයට බොහෝ ප්‍රයෝජනවත් වේවි.ඔබ තරමක් උදෑසනින් පිටත් වුවා නම් අවට පරිසරය හොදින් රසවිදිමින් ගමන් කලහැකිව තිබු බව මගේ අදහසයි.ආහාර පාන පිටතින් රැගෙන යාම ඔබේ පසුම්බියට මෙන්ම ශරීරයටද ගුණදායකය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  2. බැලූ විට පේන පරිදි, මහා විසක් ඇති සරුපයෙක් නොවේ. (blood snake) රත්නපුර පාරේ සරුපයන් දැකීම සුලබ දෙයක්. කුරුවිට පාරේ නම් සමහර දුලබ කුරුල්ලනුත් බලාගන්නට පුළුවනි. පරිසරයට හානියක් නොකර අවාරේ යන්නට පුළුවන් නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි. අප සිතා සිටියේ මෙම සර්පයා විෂ සහිත ‍එකෙක් කියා.

      Delete